ලොව ප්‍රධානතම බලශක්ති සැපයුම් මාර්ගය වන හෝමුස් සමුද්‍ර සන්ධියේ අටවා ඇති මුහුදු බෝම්බ (Sea Mines) ඉවත් කිරීමේ විශේෂ මෙහෙයුමක් සිය හමුදාවන් විසින් ආරම්භ කර ඇති බව ඇමරිකානු මධ්‍යම අණසක (CENTCOM) අද (11) නිල වශයෙන් තහවුරු කළේය.
ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) විසින් මීට පෙර අතුරා තිබූ බෝම්බ ඉවත් කර, ජාත්‍යන්තර නාවික ප්‍රවාහනය සඳහා ආරක්ෂිත මාවතක් සකස් කිරීම මෙහි ප්‍රධාන අරමුණයි.
මෙම මෙහෙයුම සඳහා ඇමරිකානු නාවික හමුදාවට අයත් USS Frank E. Peterson (DDG 121) සහ USS Michael Murphy (DDG 112) යන මඟ පෙන්වන මිසයිල ප්‍රහාරක නෞකා (Guided-missile destroyers) දෙක සෘජුවම දායක වන බව සෙන්ට්කොම් නිවේදනයේ සඳහන් වේ.
ඉදිරි දිනවලදී මේ සඳහා දිය යට ක්‍රියා කරන ඩ්‍රෝන යානා ඇතුළු අතිරේක තාක්ෂණික සහය ද එක් කිරීමට නියමිතය. මෙම මෙහෙයුම සාර්ථක වූ වහාම වාණිජ නෞකා සඳහා ආරක්ෂිත ගමන් මාර්ගය විවෘත කරන බව ද සෙන්ට්කොම් අණදෙන නිලධාරී අද්මිරාල් බ්‍රැඩ් කූපර් පවසා තිබේ.














