ඇමරිකානු සිවිල් අයිතිවාසිකම් ව්‍යාපාරයේ ප්‍රබල නායකයෙකු මෙන්ම දශක හයකට අධික කාලයක් මානව අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි පූජ්‍ය ජෙසී ජැක්සන් (Rev. Jesse Jackson) අද (17) අභාවප්‍රාප්ත විය. මියයන විට 84 වැනි වියේ පසුවූ ඔහු, වසර ගණනාවක සිට පාකින්සන් රෝගයෙන් සහ පසුව හඳුනාගත් ස්නායු ආබාධයකින් (PSP) පීඩා විඳිමින් සිටි බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
1960 දශකයේදී මාර්ටින් ලූතර් කිං (Martin Luther King Jr.) ගේ සමීපතම සගයෙකු ලෙස සිය දේශපාලන ගමන ආරම්භ කළ ජැක්සන්, ඇමරිකාවේ කළු ජාතිකයන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් සුවිශේෂී මෙහෙවරක් ඉටු කළේය. ඔහු 1984 සහ 1988 යන වසරවලදී ඩිමොක්‍රටික් පක්ෂයෙන් ජනාධිපති අපේක්ෂකත්වය සඳහා තරග වැදුණු අතර, බරක් ඔබාමාට පෙර ඇමරිකානු ජනාධිපතිවරණයකදී දැවැන්ත ජනතා ආකර්ෂණයක් දිනාගත් සහ ප්‍රාන්ත කිහිපයක ජයග්‍රහණය තහවුරු කරගත් පළමු කළු ජාතික දේශපාලනඥයා ලෙස ඉතිහාසයට එක්විය.
ඔහුගේ අභාවය වෙනුවෙන් ලොව පුරා නායකයින් සහ සිවිල් ක්‍රියාකාරිකයින් සිය ශෝකය පළ කරමින් සිටින අතර, පවුලේ සාමාජිකයන් ප්‍රකාශ කළේ ඔහු ලොව පුරා පීඩිත ජනතාව වෙනුවෙන් හඬ නැගූ සැබෑ නායකයෙකු බවයි. ජෙසී ජැක්සන්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු චිකාගෝ නුවරදී සිදු කිරීමට නියමිතව ඇත.














