ඉරාන යුද්ධය හේතුවෙන් මැදපෙරදිග තෙල් සහ ගෑස් සැපයුම බරපතල ලෙස අඩාල වී ඇති පසුබිමක, ආසියා-පැසිෆික් කලාපයේ රටවලට අවශ්‍ය බලශක්ති අවශ්‍යතාව සම්පූර්ණ කිරීමේ හැකියාව එක්සත් ජනපදය සතු බව අමෙරිකානු අභ්‍යන්තර කටයුතු ලේකම් ඩග් බර්ගම් ප්‍රකාශ කළේය. ටෝකියෝ නුවර පැවැත්වෙන රටවල් 17ක සහභාගීත්වයෙන් යුත් ‘ඉන්දු-පැසිෆික් බලශක්ති ආරක්ෂක අමාත්‍ය සහ ව්‍යාපාරික සංසදය’ අමතමින් ඔහු මේ බව අවධාරණය කළේය.
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ “බලශක්ති ආධිපත්‍යය” (Energy Dominance) ප්‍රතිපත්තිය පැහැදිලි කරමින් බර්ගම් මහතා කියා සිටියේ, අමෙරිකාව සතු අතිරික්ත බලශක්තිය මිත්‍ර රටවල් වෙත විකිණීම හරහා කලාපීය බලශක්ති ආරක්ෂාව සහතික කරන බවයි. “ත්‍රස්තවාදී පාලන තන්ත්‍රයන්ට (ඉරානය ඉලක්ක කරමින්) අඩාල කළ නොහැකි” විශ්වාසදායක සහ ආරක්ෂිත සැපයුමක් අමෙරිකාවෙන් ලබා දෙන බව ඔහු සහතික විය. මීට අමතරව, චීනය මත පවතින යැපීම අවම කිරීම සඳහා තීරණාත්මක ඛනිජ සම්පත් (Critical Minerals) සැපයීමේ වැදගත්කම ද මෙහිදී සාකච්ඡාවට බඳුන් විය.
පෙබරවාරි 28 වැනිදා ආරම්භ වූ ඉරාන යුද්ධයත් සමඟ ලෝක තෙල් වෙළඳපොළේ ඇති වී තිබෙන අස්ථාවරත්වය මඟහරවා ගැනීමට මෙම සංසදය හරහා නව වාණිජ ගිවිසුම්වලට එළඹීමට අමෙරිකානු බලශක්ති සමාගම් අපේක්ෂා කරයි.














