ඉරානයේ නව උත්තරීතර නායක ලෙස පත්වූ මොජ්ටාබා කමේනි (Mojtaba Khamenei) අමෙරිකානු සහ ඉස්රායල ප්‍රහාර හමුවේ බරපතළ තුවාල ලබා ඇති බවත්, ඔහුගේ මුහුණ පවා විකෘති වී ඇති බවට සැක කරන බවත් අමෙරිකානු ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් (Pete Hegseth) සිකුරාදා (13) ප්‍රකාශ කළේය. පෙබරවාරි 28 වැනිදා ආරම්භ වූ ප්‍රහාර හමුවේ ඔහුගේ පියා සහ බිරිඳ ඇතුළු පවුලේ සාමාජිකයන් රැසක් මියගිය අතර, එතැන් සිට මොජ්ටාබා කමේනිගේ කිසිදු රූපරාමුවක් හෝ වීඩියෝවක් ප්‍රසිද්ධියට පත්ව නොමැති බව හෙග්සෙත් පෙන්වා දෙයි.
ඉරාන රාජ්‍ය රූපවාහිනිය මගින් මොජ්ටාබා කමේනිගේ ප්‍රකාශයක් පසුගිය බ්‍රහස්පතින්දා ප්‍රකාශයට පත් කළද, එය නිවේදකයෙකු විසින් කියවන ලද ලිඛිත ප්‍රකාශයක් පමණක් වීම අමෙරිකාවේ සැකයට හේතු වී තිබේ. “ඉරානය සතුව ඕනෑතරම් කැමරා සහ හඬ පටිගත කිරීමේ යන්ත්‍ර තිබියදී ඇයි ලිඛිත ප්‍රකාශයක් පමණක් නිකුත් කළේ? ඔහු බියට පත්වී, තුවාල ලබා සැඟවී සිටිනවා” යැයි ආරක්ෂක ලේකම්වරයා මාධ්‍ය හමුවේදී සඳහන් කළේය. කෙසේ වෙතත්, ඉරාන නිලධාරියෙකු රොයිටර් පුවත් සේවයට පවසා ඇත්තේ නව නායකයා සුළු තුවාල ලබා සිටියද ඔහු තවමත් රාජකාරි කටයුතු මෙහෙයවන බවයි.
මෙම අර්බුදය මධ්‍යයේ වුවද, ඉරාන ඩ්‍රෝන යානා කුවේටය, ඉරාකය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ ඕමානය වැනි රටවල ගුවන් සීමාවන්ට ඇතුළු වී ඇති බව වාර්තා වේ. මේ අතර, බටහිර ඉරාකයේදී අමෙරිකානු ඉන්ධන පිරවුම් යානයක් අනතුරට පත්වීමෙන් අමෙරිකානු සෙබළුන් සිව්දෙනෙකු (පසුව හය දෙනෙකු ලෙස තහවුරු විය) මියගොස් ඇති අතර, ප්‍රහාර ආරම්භයේ සිට මේ දක්වා අමෙරිකානු සෙබළුන් 11 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත. හෝමුස් සමුද්‍ර සන්ධිය දිගින් දිගටම වසා තබන බවටත්, කලාපයේ පවතින අමෙරිකානු කඳවුරු ඉලක්ක කරන බවටත් ඉරානය අනතුරු අඟවා තිබේ.
















