පසුගිය පෙබරවාරි 28 වනදා සිට මේ දක්වා ගතවූ දින 13ක කාලය තුළ ඉරානයට අයත් සතුරු ඉලක්ක 15,000කට අධික සංඛ්‍යාවකට සාර්ථකව ප්‍රහාර එල්ල කළ බව අමෙරිකා එක්සත් ජනපදය නිල වශයෙන් ප්‍රකාශ කරයි. අමෙරිකානු ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් මහතා සඳහන් කළේ, “ඔපරේෂන් එපික් ෆියුරි” මෙහෙයුම යටතේ දිනකට සාමාන්‍යයෙන් ඉලක්ක 1,000කට වැඩි ප්‍රමාණයකට ප්‍රහාර එල්ල කිරීමට තම හමුදා සමත්ව ඇති බවයි. මෙම දැවැන්ත ප්‍රහාර මාලාව හේතුවෙන් ඉරාන හමුදාව මේ වන විට අතිශය දුර්වල මට්ටමකට පත්ව ඇති බව ඔහු පෙන්වා දෙයි.
ආරක්ෂක ලේකම්වරයා වැඩිදුරටත් අවධාරණය කරන්නේ අමෙරිකානු සහ ඊශ්‍රායල ඒකාබද්ධ ප්‍රහාර හමුවේ ඉරානයේ ගුවන් සහ නාවික හමුදා බලය සහමුලින්ම පාහේ විනාශ වී ඇති බවයි. ඔහු ඉදිරිපත් කළ සංඛ්‍යාලේඛනවලට අනුව ඉරානය සතු මිසයිල ප්‍රමාණය 90%කින් ද, ඒකපාර්ශ්වික ප්‍රහාරක ඩ්‍රෝන යානා (Kamikaze Drones) ප්‍රමාණය 95%කින් ද අඩු වී තිබේ. මෙමගින් ඉරානයේ ප්‍රතිප්‍රහාර එල්ල කිරීමේ හැකියාව බරපතළ ලෙස සීමා වී ඇති බව අමෙරිකානු ආරක්ෂක අංශවල විශ්වාසයයි.
කෙසේ වෙතත්, ඉරානය සතු නාවික සහ ගුවන් බලය සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බවට අමෙරිකාව කරන මෙම ප්‍රකාශය යුද විශ්ලේෂකයන්ගේ දැඩි අවධානයට ලක්ව ඇත. ඉරානය තවමත් ඕමාන් මුහුදේ සහ සවුදි අරාබිය ඉලක්ක කර ඩ්‍රෝන ප්‍රහාර එල්ල කරමින් සිටින පසුබිමක, ඇමෙරිකානු ආරක්ෂක ලේකම්වරයාගේ මෙම ප්‍රකාශය ඉරානයට එරෙහිව දියත් කළ මනෝවිද්‍යාත්මක මෙහෙයුමක (Psychological warfare) කොටසක් විය හැකි බවට ද සැක පළ කෙරේ.













