ඇමරිකානු වාණිජ ලේකම් හවර්ඩ් ලුට්නික්, කුප්‍රකට ලිංගික අපරාධකරුවෙකු වූ ජෙෆ්රි එප්ස්ටයින් සමඟ පැවති සබඳතා පිළිබඳව විමර්ශනය කරන කොන්ග්‍රස් මණ්ඩල කමිටුවක් හමුවේ පෙනී සිටීමට එකඟතාව පළ කර තිබෙනවා. හිටපු ජනාධිපති බිල් ක්ලින්ටන් සහ හිලරි ක්ලින්ටන් ද මෙම විමර්ශනය සඳහා පසුගියදා සාක්කි ලබා දුන් අතර ඉන් අනතුරුව ලුට්නික් මෙලෙස ස්වේච්ඡාවෙන්ම සාක්කි දීමට ඉදිරිපත් වී ඇති බවයි වාර්තා වන්නේ. ට්‍රම්ප් පාලන සමයේ ගෝලීය තීරුබදු ප්‍රතිපත්තියේ නිර්මාණකරුවෙකු ලෙස සැලකෙන ලුට්නික්, මීට පෙර පවසා තිබුණේ 2005 වසරෙන් පසු තමන් එප්ස්ටයින් සමඟ සබඳතා නතර කළ බව වුවද 2012 වසරේදී ඔහු එප්ස්ටයින්ට අයත් පෞද්ගලික දූපතක සංචාරය කර ඇති බවට නවතම අධිකරණ වාර්තා මගින් හෙළි වී තිබෙනවා.
ඇමරිකානු අධිකරණ දෙපාර්තමේන්තුව මගින් එප්ස්ටයින් සිද්ධියට අදාළව නිකුත් කරන ලද මිලියන 3.5කට අධික ලේඛන අතර ලුට්නික්ගේ නම ද සඳහන් වන අතර ඔහු සිය පවුලේ පිරිස සමඟ එම දූපතට ගොස් ඇති බවට තහවුරු වී තිබෙනවා. මෙම කරුණු අනාවරණය වීමත් සමඟ ඔහු සිය ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවට දේශපාලන ක්ෂේත්‍රය තුළ දැඩි බලපෑමක් එල්ල වුණා. මීට අමතරව මයික්‍රොසොෆ්ට් නිර්මාතෘ බිල් ගේට්ස් ඇතුළු තවත් ප්‍රබල පුද්ගලයින් කිහිප දෙනෙකුට ද මෙම කමිටුව හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී ඇති අතර මෙම විමර්ශනය හරහා එප්ස්ටයින්ගේ ජාලයට සම්බන්ධ ප්‍රබල පුද්ගලයින් පිළිබඳ තොරතුරු රැසක් හෙළි වනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.













