ඇමරිකානු කොන්ග්‍රස් මණ්ඩල සභික ටිම් බර්චෙට් (Tim Burchett), සෙනෙට් සභික ලින්ඩ්සේ ග්‍රැහැම් (Lindsey Graham) විසින් ලෙබනනයට බෝම්බ හෙළන ලෙස කරන ලද ඉල්ලීම දැඩි උපහාසයට ලක් කරමින් අද (මාර්තු 04) ප්‍රකාශයක් නිකුත් කළේය. මැදපෙරදිග කලාපයේ පවතින උග්‍ර යුදමය වාතාවරණය හමුවේ ලෙබනනය තුළ හිස්බුල්ලා ඉලක්ක වෙත සෘජු ප්‍රහාර එල්ල කරන ලෙස ග්‍රැහැම් කළ ප්‍රකාශය විවේචනය කරමින් බර්චෙට් පවසා ඇත්තේ, “ලින්ඩ්සේ ග්‍රැහැම් අවම වශයෙන් මිටි මෙලවූ ගුටි බැට හුවමාරුවක්වත් (Fist fight) දැක නොමැති අයෙකු වුවද, ඕනෑම කුඩා ගැටුමක් පවා දැවැන්ත බෝම්බ ප්‍රහාර මාලාවක් දක්වා වර්ධනය කිරීමට ඔහු සැමවිටම සූදානම්” බවයි. යුද්ධයේ භයානකකම නොදන්නා පිරිස් මෙලෙස පහසුවෙන් යුද ප්‍රකාශ කිරීම පිළිබඳව ඔහු සිය කණගාටුව පළ කළේය.
මෙම මතභේදාත්මක ප්‍රකාශයත් සමඟ වොෂින්ටන් දේශපාලන කරළිය තුළ රිපබ්ලිකන් පක්ෂයේ අභ්‍යන්තර බෙදීමක් නිර්මාණය වී ඇති බව පෙනේ. ලින්ඩ්සේ ග්‍රැහැම් පවසන්නේ ඉරාන හිතවාදී හිස්බුල්ලා සංවිධානය සම්පූර්ණයෙන්ම තුරන් කිරීම සඳහා ලෙබනනයට ප්‍රහාර එල්ල කිරීම අත්‍යවශ්‍ය වන බව වුවද, ටිම් බර්චෙට් ඇතුළු තවත් පිරිසක් පවසන්නේ ඇමරිකාව තවත් දරුණු යුද්ධයකට (Endless Wars) පටලවා ගැනීමට තමන් ඉඩ නොදෙන බවයි. ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ද මීට පෙර පවසා තිබුණේ අනවශ්‍ය යුද්ධවලින් ඇමරිකාව ඉවත් විය යුතු බවයි. මෙම දේශපාලන ගැටුම හමුවේ මැදපෙරදිග සම්බන්ධයෙන් ඇමරිකාව ගන්නා මීළඟ තීරණය කුමක් වනු ඇත්දැයි ජාත්‍යන්තරය දැඩි විමසිල්ලෙන් පසුවේ.














