ශ්‍රී ලංකාවට ආනයනය කරනු ලබන විදුලි මෝටර් රථ (Electric Vehicles) පරිසර හිතකාමී “හරිත” වාහන ලෙස හඳුන්වා දුන්නද, සැබවින්ම ඒවා ධාවනය වන්නේ දැඩි ලෙස පරිසරය දූෂණය කරන ගල් අඟුරු සහ ඩීසල් මගින් නිපදවන විදුලියෙන් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කරයි. මැදපෙරදිග යුද වාතාවරණය හමුවේ මතුව ඇති බලශක්ති අර්බුදය පිළිබඳව ජාතිය අමතමින් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ, රාත්‍රී 6.00 සිට 10.00 දක්වා කාලය තුළ විදුලි ඉල්ලුම මෙගාවොට් 300කින් පමණ ඉහළ යාමට මෙම විදුලි වාහන ආරෝපණය කිරීම සෘජුවම බලපා ඇති බවයි. මෙම අතිරික්ත ඉල්ලුම පියවා ගැනීම සඳහා බලධාරීන්ට සියලුම ගල් අඟුරු සහ තාප බලාගාර උපරිම ධාරිතාවයෙන් ක්‍රියාත්මක කිරීමට සිදුව ඇති බව හෙළි විය.
පසුගිය 2025 පෙබරවාරි මාසයේදී වාහන ආනයන තහනම ඉවත් කිරීමෙන් පසු මේ දක්වා විදුලි මෝටර් රථ සහ SUV රථ 8,655ක් ද, විදුලි යතුරුපැදි 36,860ක් ද ලියාපදිංචි වී ඇත. මීට අමතරව හයිබ්‍රිඩ් (Hybrid) වාහන 49,137ක් මෙරට මාර්ගවලට එක්වී තිබේ. විදුලි වාහන සඳහා පවතින අඩු බදු ප්‍රතිශතය හේතුවෙන් රජයට ලැබෙන ආදායම සීමා වී ඇති අතර, ඉන්ධන ලීටරයකින් රජය අය කරන රුපියල් 100කට ආසන්න බදු මුදල විදුලි වාහන භාවිතයෙන් රජයට අහිමි වේ. මේ හේතුවෙන් සූර්ය බල ශක්තිය බහුල දහවල් කාලයේදී වාහන ආරෝපණය කිරීම දිරිමත් කිරීම සඳහා කාලය මත පදනම් වූ විදුලි ගාස්තු ක්‍රමයක් (Time-based tariff) හඳුන්වා දීමට රජය සූදානම් වේ.
එමෙන්ම, විදුලි වාහන ආශ්‍රිත ගිනි ගැනීම් පාලනය කිරීම සඳහා අවශ්‍ය නවීන උපකරණ ලබාදීමට ආනයනකරුවන් මෙතෙක් පියවර ගෙන නොමැති බව කොළඹ ගිනි නිවන හමුදාව පවසයි. අනතුරකට ලක් වූ විදුලි වාහනයක පද්ධතිය අක්‍රිය කිරීමට අවශ්‍ය “Master Switches” වැනි තාක්ෂණික පහසුකම් විදේශ රටවල අනිවාර්ය කර තිබුණද, ශ්‍රී ලංකාවේ එවැනි යටිතල පහසුකම් නොමැතිව විදුලි වාහන ප්‍රවර්ධනය කිරීම ජාතික බලශක්ති සුරක්ෂිතතාවයට මෙන්ම ආර්ථිකයට ද දැඩි බලපෑමක් එල්ල කර ඇති බව විචාරකයෝ පෙන්වා දෙති.














