ඉරානයේ සිවිල් යටිතල පහසුකම් ඉලක්ක කර ගනිමින් එල්ල කරන ලද ප්‍රහාරයන් යුද අපරාධ ගණයට වැටෙන බව පවසමින්, ඇමෙරිකානු ආරක්ෂක ලේකම් පිට් හෙග්සෙත්ට එරෙහිව දෝෂාභියෝගයක් (Impeachment) ඉදිරිපත් කිරීමට ඇමෙරිකානු නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ ඩිමොක්‍රටික් පක්ෂ මන්ත්‍රීවරියක වන යසමින් අන්සාරි (Yassamin Ansari) පියවර ගෙන තිබේ. ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නියෝග මත ඉරානයේ පාලම්, ජල පිරිපහදු මධ්‍යස්ථාන සහ විදුලි බලාගාර වෙත එල්ල වූ ප්‍රහාර සම්බන්ධයෙන් ආරක්ෂක ලේකම්වරයා වගකිව යුතු බව ඇය පෙන්වා දෙයි.
මන්ත්‍රීවරිය සඳහන් කරන්නේ ට්‍රම්ප් පාලනය විසින් සිදුකරන මෙම ප්‍රහාර නීතිවිරෝධී වන අතර, ඉරානයේ මිනාබ් (Minab) ප්‍රදේශයේ දැරියන්ගේ පාසලකට බෝම්බ හෙළීම ඇතුළු සිවිල් ඉලක්ක වෙත එල්ල කරන ප්‍රහාරයන් ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීමක් බවයි. “යුද්ධ ප්‍රකාශ කිරීමේ බලය ඇත්තේ කොංග්‍රස් මණ්ඩලයට මිස අත්තනෝමතික ජනාධිපතිවරයෙකුට හෝ ඔහුගේ අතකොළුවලට නොවේ,” යනුවෙන් ඇය වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.
පසුගිය පැය 48 තුළ ඇමෙරිකානු රජයේ ක්‍රියාකලාපය මානුෂීය සීමාවන් ඉක්මවා ගොස් ඇති බව පවසන අන්සාරි මන්ත්‍රීවරිය, ආරක්ෂක ලේකම්වරයා ධුරයෙන් ඉවත් කිරීමට අදාළ දෝෂාභියෝග පත්‍රිකා ඉදිරිපත් කරන බව තහවුරු කළාය. මෙම දේශපාලන අර්බුදයත් සමඟ ඇමෙරිකාව තුළ පවතින අභ්‍යන්තර ගැටුම්කාරී තත්ත්වය තවදුරටත් උත්සන්න වී තිබේ.














