මැදපෙරදිග කලාපයේ උත්සන්න වෙමින් පවතින යුද ගැටුම් සැලකිල්ලට ගනිමින්, ලොව පුරා විසිරී සිටින සියලුම අමෙරිකානු පුරවැසියන් සඳහා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් අද (23) විශේෂ ආරක්ෂක උපදේශනයක් නිකුත් කර තිබේ. සිය X (ට්විටර්) ගිණුමේ සටහනක් තබමින් රාජ්‍ය දෙපාර්තමේන්තුව අවධාරණය කර ඇත්තේ, පවතින අස්ථාවරත්වය හේතුවෙන් ලොව පුරා මෙන්ම විශේෂයෙන් මැදපෙරදිග සිටින අමෙරිකානුවන් වෙනදාට වඩා දැඩි අවධානයකින් සහ සුපරීක්ෂාකාරීව කටයුතු කළ යුතු බවයි.
මෙම නිවේදනයට අනුව, සියලුම අමෙරිකානු පුරවැසියන් තමන් රැඳී සිටින රටේ පිහිටි ළඟම අමෙරිකානු තානාපති කාර්යාලය හෝ කොන්සල් කාර්යාලය මඟින් වරින් වර නිකුත් කරනු ලබන ආරක්ෂක මාර්ගෝපදේශ අකුරටම අනුගමනය කළ යුතුය. ඉරානයට සහාය දක්වන කණ්ඩායම් විසින් මැදපෙරදිගින් බැහැර රටවල පිහිටි අමෙරිකානු රාජ්‍ය තාන්ත්‍රික මධ්‍යස්ථාන, විදේශයන්හි පවතින අනෙකුත් එක්සත් ජනපද අවශ්‍යතා සහිත ස්ථාන හෝ අමෙරිකානුවන් සම්බන්ධ ස්ථාන ඉලක්ක කර ප්‍රහාර එල්ල කිරීමේ අවදානමක් පවතින බවට ද එහි අනතුරු අඟවා තිබේ.
තවද, පවතින ආරක්ෂක තත්ත්වයන් මත කාලානුරූපව ගුවන් අවකාශයන් වසා දැමීමට ඉඩ ඇති බැවින් සිය සංචාරක සැලසුම් පිළිබඳව නිරන්තර අවධානයෙන් පසුවන ලෙස ද රාජ්‍ය දෙපාර්තමේන්තුව දැනුම් දී ඇත. මැදපෙරදිග කලාපය පුරා අවුල් සහගත තත්ත්වයක් මතු වෙමින් පවතින පසුබිමක, ලොව පුරා සිටින සියලුම අමෙරිකානුවන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම වෙනුවෙන් මෙම යාවත්කාලීන කරන ලද අනතුරු ඇඟවීම් නිකුත් කිරීමට පියවර ගෙන තිබේ.














