දකුණු ඇමරිකානු කලාපයේ මත්ද්‍රව්‍ය ජාවාරම සහ ත්‍රස්තවාදී ක්‍රියාවන් මර්දනය කිරීමේ අරමුණින් ඉක්වදෝර ආරක්ෂක අංශ සහ ඇමරිකානු හමුදා ඒකාබද්ධ මෙහෙයුම් ආරම්භ කර තිබේ. ඇමරිකානු දකුණු විධානය (Southern Command) විසින් නිවේදනය කර ඇති පරිදි, මෙම මෙහෙයුම එල්ල කර ඇත්තේ එරට නම් කරන ලද ත්‍රස්තවාදී සංවිධානවලට සහ නීතිවිරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම් ජාලයන්ට එරෙහිවයි.
ඉක්වදෝර ජනාධිපති ඩැනියෙල් නොබෝවා (Daniel Noboa) පවසන පරිදි ලොව කොකේන් නිෂ්පාදනයෙන් 70%ක් පමණ ඉක්වදෝරයේ වරායන් හරහා ප්‍රවාහනය කෙරෙන අතර, කොලොම්බියාව සහ පේරු වැනි ලොව විශාලතම කොකේන් නිෂ්පාදනය කරන රටවලට මායිම්ව පිහිටීම නිසා ඉක්වදෝරය ජාවාරම්කරුවන්ගේ කේන්ද්‍රස්ථානයක් වී ඇත. මත්ද්‍රව්‍ය කාටෙල්වලට එරෙහිව දියත් කරන මෙම “නව අදියරේ” යුද්ධය සඳහා ඇමරිකා එක්සත් ජනපදය ප්‍රමුඛ කලාපීය මිත්‍ර රටවල සහාය ලැබෙන බව ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
මෙම මෙහෙයුම් සැලසුම් කිරීම සඳහා ජනාධිපති නොබෝවා සහ ඇමරිකානු හමුදා ප්‍රධානීන් අතර විශේෂ සාකච්ඡාවක් පසුගියදා පැවැත්වුණු අතර එහිදී ගුවන් තොටුපළ සහ වරාය ආශ්‍රිතව තොරතුරු හුවමාරු කර ගැනීම සහ මෙහෙයුම් සම්බන්ධීකරණය පිළිබඳව එකඟතාවලට එළැඹී ඇත. මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීම ඇමරිකානු රජයේ ප්‍රධානතම ප්‍රමුඛතාවක් වන අතර, පසුගිය මාස කිහිපය තුළ කැරිබියන් සහ පැසිෆික් කලාපවල මෙවැනි වැටලීම් රැසක් ක්‍රියාත්මක කර තිබීම විශේෂත්වයකි.














