ශ්‍රී ලංකාවේ සිටින සහ මෙරට හරහා ගමන් කරන අමෙරිකානු පුරවැසියන්ගේ ආරක්ෂාව වෙනුවෙන් කොළඹ පිහිටි එක්සත් ජනපද තානාපති කාර්යාලය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ. මැදපෙරදිග පවතින යුදමය වාතාවරණය හමුවේ ඇතැම් ගුවන් මාර්ග විවෘත වුවද, ආරක්ෂාව තහවුරු කර ගැනීම සඳහා එම කලාපය මගහැර විකල්ප මාර්ග ඔස්සේ සංචාරය කරන ලෙස තානාපති කාර්යාලය සිය පුරවැසියන්ගෙන් ඉල්ලා සිටියි.
මෙම නිවේදනයේ අන්තර්ගත ප්‍රධාන කරුණු කිහිපයක් මෙසේය. ගමන් සැලසුම්වලට බාධා පැමිණ ඇති පුරවැසියන්ට සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා පස්වරු 1:00 සිට 2:00 දක්වා කාලය තුළ පූර්ව දැනුම්දීමකින් තොරව තානාපති කාර්යාලය වෙත පැමිණ නිලධාරීන් හමුවිය හැකිය. හදිසි අවශ්‍යතාවකදී +94-11-202-8500 අංකය ඔස්සේ හෝ අමෙරිකානු පුරවැසි සේවා ඒකකය (ACS) සම්බන්ධ කර ගන්නා ලෙසත්, නවතම ආරක්ෂක තොරතුරු ලබා ගැනීම සඳහා STEP (Smart Traveler Enrollment Program) පද්ධතියේ ලියාපදිංචි වන ලෙසත් දැනුම් දී තිබේ.
ලොව පුරා සිටින සිය පුරවැසියන්ගේ සුරක්ෂිතතාව අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ඉහළම ප්‍රමුඛතාව බවත්, පවතින ගෝලීය තත්ත්වය මත සංචාරකයන් දැඩි විමසිල්ලෙන් පසුවිය යුතු බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.














