සෞදි අරාබියේ රියාද් නුවර පිහිටි එක්සත් ජනපද තානාපති කාර්යාල සංකීර්ණය ඉලක්ක කර ගනිමින් අද (03) අලුයම එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාරයකින් එම ගොඩනැගිල්ලට හානි සිදුව ඇති බව සෞදි ආරක්ෂක අමාත්‍යාංශය තහවුරු කරනවා. ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනිගේ අභාවයට හේතු වූ අමෙරිකානු සහ ඊශ්‍රායල ප්‍රහාරවලට ප්‍රතිචාර වශයෙන් ඉරානය විසින් මෙම ප්‍රහාරය දියත් කර ඇති බවයි වාර්තා වන්නේ. ප්‍රහාරය සිදුවන අවස්ථාවේ තානාපති කාර්යාලය තුළ පිරිස් නොසිටීම නිසා ජීවිත හානි වාර්තා නොවුණත්, රියාද්, ජෙඩා සහ දහරන් යන නගරවල වෙසෙන අමෙරිකානු පුරවැසියන්ට වහාම ආරක්ෂිත ස්ථාන කරා යන ලෙස හදිසි නියෝග නිකුත් කර තිබෙනවා. මේ සම්බන්ධයෙන් අදහස් දක්වන අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා ඇත්තේ මීට එරෙහිව ඉතා ඉක්මනින් දැඩි ප්‍රතිප්‍රහාරයක් අපේක්ෂා කළ හැකි බවයි. මෙම තත්ත්වයත් සමඟ මුළු මැදපෙරදිග කලාපයම දැඩි අවදානම් සහගත මට්ටමකට පත්ව තිබෙනවා.














