ඉරාන-ඇමෙරිකානු යුද්ධය හේතුවෙන් ගෝලීය බලශක්ති වෙළෙඳපොළ තුළ උද්ගත වී ඇති අස්ථාවරභාවය සමනය කිරීම සඳහා, මුහුදේ අතරමංව ඇති රුසියානු තෙල් මිලදී ගැනීමට ඇමෙරිකානු රජය තවත් රටවල් කිහිපයකට දින 30ක තාවකාලික අවසරයක් ලබා දී තිබේ. මීට පෙර ඉන්දියාවට පමණක් ලබා දී තිබූ මෙම සහනය දැන් තවත් රටවල් කිහිපයක් සඳහා ව්‍යාප්ත කිරීමට ඇමෙරිකානු භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.
මෙම තීරණය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඇමෙරිකානු භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට් (Scott Bessent) සඳහන් කළේ, ඉරාන රජය විසින් ඇති කරනු ලබන තර්ජන හමුවේ ලෝක තෙල් මිල පාලනය කිරීම සහ බලශක්ති වෙළෙඳපොළ ස්ථාවර කිරීම ජනාධිපති ට්‍රම්ප්ගේ අරමුණ බවයි. කෙසේ වෙතත්, මෙම සහනය ලබා දෙන්නේ දැනටමත් නැව්ගත කර ඇති (In transit) තෙල් තොග සඳහා පමණක් බවත්, එමඟින් රුසියානු රජයට විශාල මූල්‍යමය වාසියක් අත්කර ගැනීමට ඉඩ නොදෙන බවත් ඔහු අවධාරණය කළේය.
ඉරානය විසින් හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ තෙල් මිල ඉහළ යාම වැළැක්වීම සඳහා ඇමෙරිකාව ගත් මෙම තීරණය ඉතා වැදගත් රාජ්‍යතාන්ත්‍රික පියවරක් ලෙස සැලකේ.













