ඉරාන ගුවන් සීමාවේදී වෙඩි තබා බිම හෙළන ලද අමෙරිකානු ‘F-15E Strike Eagle’ ප්‍රහාරක යානයක සිටි ගුවන් නියමුවෙකු, සතුරු හමුදා වටකර සිටියදී අතිශය අවදානම් සහගත මෙහෙයුමකින් බේරා ගැනීමට අමෙරිකානු හමුදාව සමත්ව තිබේ. “Dude 44” යන සංඥා නාමයෙන් හඳුන්වන ලද මෙම යානය පසුගිය සිකුරාදා ඉරාන හමුදා ප්‍රහාරයකින් විනාශ විය.
අනතුරින් තුවාල ලබා දින දෙකකට ආසන්න කාලයක් ඉරානයේ දුෂ්කර කඳුකර ප්‍රදේශයක සැඟවී සිටි මෙම ගුවන් නියමුවා සෙවීම සඳහා ඉරාන හමුදා හෙලිකොප්ටර් සහ ඩ්‍රෝන යානා යොදවා තිබුණි. ඔහු කඳු මුදුනකට පැමිණ “දෙවියන් වහන්සේ යහපත් ය” (God is good) යනුවෙන් ගුවන් විදුලි පණිවුඩයක් නිකුත් කර ඇති අතර, මුලින් වොෂින්ටනය එය ඉරාන හමුදාව විසින් අටවන ලද උගුලක් දැයි සැක කර තිබේ.
කෙසේ වෙතත්, දැඩි වෙහෙසක් දරා ඔහු ජීවතුන් අතර සිටින බව තහවුරු කර ගැනීමෙන් පසු මෙම මුදාගැනීමේ මෙහෙයුම ක්‍රියාත්මක කර ඇත. බේරාගත් ගුවන් නියමුවා ගුවන් හමුදා කර්නල්වරයෙකු බවත් ඔහු දැනට බරපතළ තුවාල ලබා ප්‍රතිකාර ලබන බවත් වාර්තා වේ.













