ඇමරිකානු වීසා බලපත්‍ර ලබාගැනීමේ අරමුණින් ව්‍යාජ ලෙස සන්නද්ධ කොල්ලකෑම් සංවිධානය කිරීමේ චෝදනාව මත ඉන්දියානු ජාතිකයින් 10 දෙනෙකු එරට ෆෙඩරල් විමර්ශන කාර්යාංශය (FBI) විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඇමරිකානු ප්‍රාන්ත හතරක විසිරී සිටි මෙම පිරිස ඊයේ (මාර්තු 13) මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ මහා පරිමාණ වීසා වංචාවකට සම්බන්ධ වීමේ චෝදනාව මතයි.
2023 වසරේ සිට මැසචුසෙට්ස් (Massachusetts) ප්‍රාන්තයේ මත්පැන් අලෙවිසැල්, ආපනශාලා සහ වෙළඳසැල් ඉලක්ක කර ගනිමින් මෙම ව්‍යාජ කොල්ලකෑම් සිදු කර ඇති බව විමර්ශනවලදී අනාවරණය වී ඇත. මෙහි ප්‍රධාන අරමුණ වී ඇත්තේ එම කොල්ලකෑම්වල ‘වින්දිතයන්’ ලෙස පෙනී සිටිමින් ‘U’ වර්ගයේ වීසා බලපත්‍රයක් (U-Visa) සඳහා ඉල්ලුම් කිරීමයි. ඇමරිකානු නීතියට අනුව, දරුණු අපරාධයකට ගොදුරු වී මානසික හෝ කායික පීඩාවට පත් වූ සහ නීතිය ක්‍රියාත්මක කරන ආයතනවලට සහාය දෙන විදේශිකයන්ට මෙම වීසා බලපත්‍රය හිමි වේ.
FBI ආයතනය සඳහන් කරන පරිදි මෙම ජාලයට සම්බන්ධ පුද්ගලයින් 11 දෙනෙකුට එරෙහිව නඩු පවරා ඇති අතර ඉන් 10 දෙනෙකු අත්අඩංගුවේ පසුවේ. 11 වන සැකකරුට නඩු පවරා දැනටමත් ඉන්දියාවට පිටුවහල් කර ඇති බව වාර්තා වේ. වීසා බලපත්‍ර ලබාගැනීම සඳහා මෙලෙස සංවිධානාත්මක ලෙස නීතිය නොමඟ යැවීමේ සිදුවීම් පිළිබඳව ඇමරිකානු බලධාරීන් සිය දැඩි අවධානය යොමු කර ඇත.














