වෙනිසියුලානු රජය වෙනුවෙන් නීතිවිරෝධී ලෙස බලපෑම් කිරීමේ (Lobbying) චෝදනාවට ලක්ව සිටින හිටපු කොන්ග්‍රස් මණ්ඩල සභික ඩේවිඩ් රිවේරා (David Rivera) ගේ නඩු විභාගය සඳහා සාක්ෂි දීමට අමෙරිකානු රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝ ඊයේ (2026 මාර්තු 24) අධිකරණය හමුවේ පෙනී සිටියේය. මෙලෙස ක්‍රියාකාරී කැබිනට් මණ්ඩල සාමාජිකයෙකු අපරාධ නඩුවක සාක්ෂි දීමට පැමිණියේ 1983 වසරෙන් පසුව ප්‍රථම වතාවට වීම විශේෂත්වයකි.
පැමිණිල්ලේ පාර්ශවය පවසන්නේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ හිටපු සභිකයෙකු වන ඩේවිඩ් රිවේරා සහ එස්තර් නුෆර් (Esther Nuhfer) යන අය වෙනිසියුලාවේ නිකලස් මදුරෝ රජයට පනවා ඇති සම්බාධක ලිහිල් කිරීම සඳහා අමෙරිකානු රජයට රහසිගතව බලපෑම් කර ඇති බවයි. මේ සඳහා ඔවුන් වෙනිසියුලානු රාජ්‍ය තෙල් සමාගමෙන් ඩොලර් මිලියන 50ක කොන්ත්‍රාත්තුවක් ලබාගෙන ඇති බවට ද චෝදනා එල්ල වී තිබේ. රිවේරා සහ රූබියෝ මීට පෙර එකම නිවසේ ජීවත් වූ සමීප මිතුරන් වන අතර එම හිතවත්කම භාවිත කරමින් රිවේරා විසින් එවකට සෙනෙට් සභිකයෙකු වූ රූබියෝ හරහා මෙම බලපෑම් කිරීමට උත්සාහ කර ඇත.
අධිකරණයේදී සාක්ෂි දෙමින් මාර්කෝ රූබියෝ ප්‍රකාශ කළේ තමන් රිවේරා දිගු කලක් තිස්සේ හඳුනන නමුත් මෙම නීතිවිරෝධී ක්‍රියාවලියට තමන්ගේ කිසිදු සම්බන්ධයක් නොමැති බවයි. රූබියෝට එරෙහිව කිසිදු චෝදනාවක් මෙහිදී එල්ල වී නොමැති අතර ඔහු හුදෙක් සාක්ෂිකරුවෙකු ලෙස පමණක් ඉදිරිපත් විය. මීට පෙර 1983දී රේගන් පාලන සමයේ කම්කරු ලේකම් රේමන්ඩ් ඩොනොවන් මාෆියා නඩුවක සාක්ෂි දීමෙන් පසු මෙවැනි සිදුවීමක් වාර්තා වූ පළමු අවස්ථාව මෙයයි.














