ඇමෙරිකාවේ ජෝර්ජියා ප්‍රාන්තයේ ගේන්ස්විල් (Gainesville) ප්‍රදේශයේ උසස් විද්‍යාලයක ගුරුවරයෙකු වූ 40 හැවිරිදි ජේසන් හියුස් (Jason Hughes) විහිළුවක් අතරතුර සිදුවූ අවාසනාවන්ත අනතුරකින් මියයාම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සිසුන්ට එරෙහි චෝදනා ඉවත් කරන ලෙස ඔහුගේ බිරිඳ බලධාරීන්ගෙන් ඉල්ලා තිබේ.
මෙම අවාසනාවන්ත සිදුවීම පිළිබඳ තොරතුරු මෙසේය. පාසල් සම්ප්‍රදායක් ලෙස සිසුන් පිරිසක් ජේසන් හියුස් මහතාගේ නිවසේ මිදුල වැසිකිළි කඩදාසිවලින් (Toilet paper) සරසා විහිළුවක් කර ඇත. ඔවුන්ව අල්ලා ගැනීමට ඔහු ලුහුබැඳ ගිය අවස්ථාවේදී පය ලිස්සා වැටී වාහනයක ගැටීමෙන් මෙම මරණය සිදුවිය.
මියගිය ගුරුවරයාගේ බිරිඳ වන ලෝරා හියුස් (Laura Hughes) පවසන්නේ සිය සැමියා සිසුන් කෙරෙහි කිසිදු කෝපයකින් පසුවූයේ නැති බවයි. ඔහු ඉතා උද්යෝගයෙන් මෙම “විහිළු යුද්ධයට” (Prank war) සහභාගී වූ බවත්, සිසුන්ට බෙහෙවින් ආදරය කළ බවත් ඇය අවධාරණය කරයි. මේ හේතුවෙන් අත්අඩංගුවේ පසුවන නව යොවුන් වියේ පසුවන සිසුන් පස්දෙනාට එරෙහිව පනවා ඇති නීතිමය චෝදනා ඉවත් කර ඔවුන්ට නිදහස ලබා දෙන ලෙස ඇය ඉල්ලා සිටී.















