පවතින ඉරාන-අමෙරිකානු යුදමය වාතාවරණය හමුවේ ලෝක වෙළඳපොළේ මතුව ඇති තෙල් පීඩනය මදක් අවම කිරීම සඳහා රුසියානු තෙල් මිලදී ගැනීමට ඉන්දියාවට තාවකාලික සහනයක් ලබා දුන් බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබේ. එයාර් ෆෝස් වන ගුවන් යානයේ සිට මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව සඳහන් කළේය.
මෙම තීරණය සම්බන්ධයෙන් වන වැදගත් කරුණු කිහිපයක් මෙසේය. අමෙරිකානු භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙස්න්ට් විසින් ඉන්දීය තෙල් පිරිපහදු සඳහා මෙම දින 30ක තාවකාලික සහනය නිවේදනය කරන ලදී. මෙහිදී අවසර හිමිවන්නේ දැනටමත් මුහුදේ නැව්ගත කර ඇති තෙල් තොග සඳහා පමණක් බව ඔහු පැහැදිලි කළේය. තෙල් පීඩනය මදක් ලිහිල් කිරීමට තමා මෙම පියවර ගත් බව පැවසූ ට්‍රම්ප් අමෙරිකාව සතුව අතිවිශාල තෙල් සංචිතයක් පවතින බව ද මෙහිදී පුරසාරම් දොඩමින් කියා සිටියේය.
කෙසේ වෙතත් ඉන්දීය රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු ප්‍රකාශ කර ඇත්තේ රුසියානු තෙල් මිලදී ගැනීම සඳහා ඉන්දියාවට කිසිදු රටක අවසරයක් අවශ්‍ය නොවන බවයි. තම රටේ බලශක්ති අවශ්‍යතාව මත ස්වාධීන තීරණ ගැනීමට ඉන්දියාවට ඇති අයිතිය ඔහු මෙහිදී අවධාරණය කළේය. මැදපෙරදිග යුද්ධය හේතුවෙන් ගෝලීය තෙල් සැපයුම අඩාල වීමේ අවදානමක් මතුව ඇති අතර එය ලෝක ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ල කරමින් පවතී.














