ඉරානය විසින් හෝර්මුස් සමුද්‍ර සන්ධිය අවහිර කිරීම හේතුවෙන් ලෝක වෙළඳපොළේ බලශක්ති සැපයුමට එල්ල වී ඇති බාධා හමුවේ, දැනටමත් මුහුදේ පවතින රුසියානු තෙල් තොග මිලදී ගැනීම සඳහා ඇමෙරිකාව තාවකාලික සහන කාලයක් (Waiver) ලබා දී තිබේ. ඒ අනුව රුසියානු බොරතෙල් බැරල් මිලියන 19ක් සහ පිරිපහදු කළ ඉන්ධන ටොන් 310,000ක් රැගත් නෞකා 30ක් පමණ ආසියානු මුහුදු සීමාවේ ගැනුම්කරුවන් අපේක්ෂාවෙන් පවතී.
බ්ලූම්බර්ග් (Bloomberg) දත්ත වාර්තා පෙන්වා දෙන්නේ මෙම නෞකාවලින් බොරතෙල්වලට අමතරව ප්ලාස්ටික් නිෂ්පාදනයට ගන්නා නැප්තා (Naphtha) සහ ඩීසල් ප්‍රවාහනය කරන බවයි. හෝර්මුස් සමුද්‍ර සන්ධිය වසා දැමීමත් සමඟ ලෝක වෙළඳපොළේ ඩීසල් මිල ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති පසුබිමක මෙම තෙල් තොග වෙළඳපොළට පැමිණීම තීරණාත්මක වී තිබේ. දැනට මෙම නෞකා චීනයට ආසන්න මුහුදේ සහ අරාබි මුහුදේ නැංගුරම් ලා ඇති අතර බොහෝමයක් නෞකා සිංගප්පූරුව හෝ මැලේසියාව වෙත යාමට සූදානමින් සිටියි.
යුක්රේන යුද්ධය හේතුවෙන් රුසියාවට එරෙහිව පනවා ඇති සම්බාධක මධ්‍යයේ වුවද, ඇමෙරිකානු භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව විසින් මාසයක සහන කාලයක් ලබා දී ඇත්තේ මැදපෙරදිගින් එල්ල වී ඇති බලශක්ති සැපයුම් කම්පනයට මුහුණ දීම සඳහා රටවල්වලට කාලය ලබා දීමේ අරමුණෙනි. විශේෂයෙන්ම ඩීසල් සහ ගුවන්යානා ඉන්ධන රැගත් නෞකා සිය ගණනක් හෝර්මුස් සමුද්‍ර සන්ධියෙන් පිටත සිරවී තිබීම මෙම තීරණයට ප්‍රධාන හේතුව වී ඇත.
චීනය සහ ඉන්දියාව දැනටමත් රුසියානු තෙල් සඳහා ප්‍රධාන ගැනුම්කරුවන් ලෙස කටයුතු කරන අතර මෙම නව සහන කාලයත් සමඟ අනෙකුත් රටවල් ද සිය බලශක්ති සුරක්ෂිතභාවය වෙනුවෙන් මෙම තෙල් තොග මිලදී ගැනීමට පෙළඹෙනු ඇතැයි විශ්ලේෂකයෝ පවසති. කෙසේ වෙතත් ජපානය සහ දකුණු කොරියාව වැනි රටවල් තවමත් රුසියානු බොරතෙල් මිලදී ගැනීමෙන් වැළකී සිටින බව වාර්තා වේ.














