ඇමරිකා එක්සත් ජනපදය සහ ඉන්දුනීසියාව අතර ද්විපාර්ශ්වික වෙළඳ සබඳතා ශක්තිමත් කරමින්, ආනයනික භාණ්ඩ සඳහා පනවා තිබූ තීරුබදු 19% දක්වා අඩු කිරීමේ ඓතිහාසික ගිවිසුමකට දෙරට එළඹ තිබේ. ඉන්දුනීසියානු ජනාධිපති ප්‍රබෝවෝ සුබියන්ටෝ මහතා වොෂින්ටනයේ කළ සංචාරයක් අතරතුර මෙම එකඟතාව ඇති වූ අතර, ඒ යටතේ කෘෂිකර්මාන්තය, සෞඛ්‍ය සේවා, තාක්ෂණය සහ මෝටර් රථ ඇතුළු ඇමරිකානු ආනයන භාණ්ඩවලින් 99% කටම පනවා තිබූ බාධක ඉවත් කිරීමට ඉන්දුනීසියාව එකඟ වී ඇත. මෙයට ප්‍රතිචාර වශයෙන් ඉන්දුනීසියාවෙන් ඇමරිකාවට අපනයනය කරන කෝපි, රබර්, කුළුබඩු සහ පාම් තෙල් ඇතුළු භාණ්ඩ 1,700 කට අධික ප්‍රමාණයකට තීරුබදු සහන ලබා දීමට වොෂින්ටනය පියවර ගෙන තිබේ.
මෙම ගිවිසුම හරහා ඇමරිකානු නිෂ්පාදන සඳහා ඉන්දුනීසියානු වෙළඳපොළ පුළුල් ලෙස විවෘත වන අතර, ඉන්දුනීසියාවේ පවතින දුර්ලභ පෘථිවි ඛනිජ සම්පත් (Rare Earth Minerals) කැණීම් සඳහා ඇමරිකානු සමාගම්වලට අවස්ථාව සැලසීම ද විශේෂත්වයකි. මෙය ඇමරිකා එක්සත් ජනපදයේ තීරණාත්මක ඛනිජ සැපයුම් දාමය ශක්තිමත් කිරීමට ඉවහල් වනු ඇත. දින 90 කින් බලාත්මක වීමට නියමිත මෙම ගිවිසුමට සමගාමීව, දෙරටේ සමාගම් අතර ඩොලර් බිලියන 38.4 ක වටිනාකමකින් යුත් ආයෝජන ගිවිසුම් රැසකට ද අත්සන් තබා ඇත.
ඉන්දුනීසියානු ආර්ථික කටයුතු පිළිබඳ අමාත්‍ය එයාර්ලන්ගා හාර්ටාර්ටෝ මහතා සඳහන් කළේ, ඉන්දුනීසියාව ඉදිරිපත් කළ ඉල්ලීම්වලින් 90% ක්ම පිළිගැනීමට ඇමරිකාව එකඟ වූ බවයි. මෙම ගිවිසුම මගින් අන්‍යෝන්‍ය ආර්ථික සමෘද්ධිය මෙන්ම දෙරටේ සැපයුම් දාමයන්හි ආරක්ෂාව ද තහවුරු වන බව ඔහු වැඩිදුරටත් පැවසීය. විශේෂයෙන්ම රෙදිපිළි සහ ඇඟලුම් ක්ෂේත්‍රයේ ඉන්දුනීසියානු නිෂ්පාදකයන්ට මෙම නව තීරුබදු සහන හරහා ඇමරිකානු වෙළඳපොළ තුළ වැඩි තරඟකාරීත්වයක් ලබා ගැනීමට අවස්ථාව හිමි වනු ඇත.














