ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඉරානය අතර ඇති වූ සති දෙකක තාවකාලික සටන් විරාමය ගෝලීය බලශක්ති අර්බුදයට යම් සහනයක් ලබා දෙනු ඇතැයි අපේක්ෂා කළද, මැදපෙරදිග තෙල් සහ ගෑස් සැපයුම යථා තත්ත්වයට පත් වීම තවමත් අවිනිශ්චිත බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි. මෙම සටන් විරාමය ප්‍රකාශ කිරීමත් සමඟ බ්‍රෙන්ට් (Brent) බොරතෙල් මිල 13% කින් පමණ පහත වැටී බැරලයක මිල ඩොලර් 95 සීමාව දක්වා අඩු වී තිබේ.
හෝමුස් සමුද්‍ර සන්ධිය යළි විවෘත කිරීමට ඉරානය එකඟ වීමත් සමඟ එහි සිරවී ඇති තෙල් බැරල් මිලියන 130ක් සහ දියර ස්වභාවික ගෑස් (LNG) ටොන් මිලියන 1.3ක් පමණ ලෝක වෙළඳපොළට මුදා හැරීමට අවස්ථාව ලැබී ඇත. කෙසේ වෙතත්, සටන් විරාමය ප්‍රකාශ කිරීමෙන් පසුවත් ඉරානය විසින් ඊශ්‍රායලය සහ ගල්ෆ් කලාපයේ රටවලට ප්‍රහාර එල්ල කිරීම නිසා නැව් හිමියන් සිය යාත්‍රා මෙම කලාපයට යැවීමට තවමත් මැලි කමක් දක්වයි.බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ මෙම අභියෝගය ලෝක ආර්ථිකයට තීරණාත්මක බලපෑමක් ඇති කරනු ඇත.














