ඇමෙරිකාව සහ ඉරානය අතර පවතින දැඩි යුදමය නොසන්සුන්තාව හමුවේ, ඇමෙරිකානු සිවිල් ගුවන් සේවා ඉලක්ක කරගනිමින් ඉරාන හිතවාදී ඩ්‍රෝන ප්‍රහාර එල්ල වීමේ දැඩි අවදානමක් පවතින බව හිටපු ඇමෙරිකානු නාවික හමුදා ප්‍රහාරක ගුවන් නියමුවෙකු වන මැතිව් බක්ලි (Matthew Buckley) අනතුරු අඟවයි. TOPGUN පුහුණුව ලත් විශේෂඥයෙකු වන ඔහු පෙන්වා දෙන්නේ ඇමෙරිකානු මගී ගුවන් යානා මෙන්ම සිවිල් යටිතල පහසුකම් පවා මෙම තර්ජනයට ලක්විය හැකි බවයි.
නිව්යෝර්ක් පෝස්ට් (New York Post) පුවත්පත සමඟ අදහස් දක්වමින් ඔහු පවසා ඇත්තේ, ඇමෙරිකාව තුළ ක්‍රියාත්මක විය හැකි ඉරාන හිතවාදී රහසිගත කල්ලි (Sleeper Cells) හෝ තනි පුද්ගල ප්‍රහාරකයන් හරහා මෙම අනතුර එල්ල විය හැකි බවයි. විශේෂයෙන්ම මැන්හැටන් හි ග්‍රේසි මැන්ෂන් (Gracie Mansion) අසල සිදුවූ ISIS හිතවාදී ප්‍රහාරය වැනි මෑතකාලීන සිදුවීම් සැලකිල්ලට ගත් විට, මෙවැනි “ඇතුළතින් එල්ල වන” ප්‍රහාර හෑල්ලුවට ලක් කළ නොහැකි බව ඔහු අවධාරණය කරයි.
ඉරානයට එරෙහිව ක්‍රියාත්මක වන ‘එපික් ෆියුරි’ මෙහෙයුම හමුවේ ඉරානය මෙලෙස ඇමෙරිකානු භූමිය තුළම ප්‍රතිප්‍රහාර එල්ල කිරීමට පෙළඹුණහොත් තත්ත්වය ඉතා දරුණු විය හැකි බැවින්, ආරක්ෂක අංශ මෙන්ම සිවිල් ජනතාව ද දැඩි විමසිල්ලෙන් පසුවිය යුතු බව හිටපු නියමුවා වැඩිදුරටත් ප්‍රකාශ කරයි.













