ඇමරිකා එක්සත් ජනපදය සහ ඉරානය අතර ඇති කරගත් සටන් විරාමය “බිඳෙන සුළු තාවකාලික එකඟතාවක්” (Fragile truce) බව ඇමරිකානු උප ජනාධිපති ජේ.ඩී. වෑන්ස් මහතා ප්‍රකාශ කළේය. දිගුකාලීන විසඳුමක් සඳහා ඉරානය අවංකව සාකච්ඡා කළ යුතු බව ඔහු මෙහිදී අවධාරණය කළේය.
හංගේරියානු අග්‍රාමාත්‍ය වික්ටර් ඕර්බන් හට සහය දැක්වීම සඳහා බුඩාපෙස්ට් නුවර සංචාරයක නිරත වෙමින් උප ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය. “ඉරානය අවංකව අප සමඟ කටයුතු කිරීමට සූදානම් නම් ස්ථිර එකඟතාවයකට පැමිණිය හැකියි. නමුත් ඔවුන් මෙම බිඳෙන සුළු සටන් විරාමයට බාධා කළහොත් ඔවුන්ට යහපත් ප්‍රතිඵල අත් නොවනු ඇතැයි” ඔහු අනතුරු ඇඟවීය.
මේ අතර, දෙපාර්ශවය අතර මැදිහත්කරු ලෙස කටයුතු කරන පකිස්ථාන අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් මහතා පැවසුවේ, සියලු ගැටලු විසඳා ගැනීම සඳහා වූ අවසන් එකඟතාවයකට එළඹීමට එළඹෙන සිකුරාදා ඉස්ලාමාබාද් නුවරදී ඇමරිකානු සහ ඉරාන නියෝජිත කණ්ඩායම් හමුවන බවයි. ඉරානය සමඟ පැවැත්වෙන මෙම තීරණාත්මක සාකච්ඡා සඳහා ඇමරිකානු නියෝජිත පිරිසට නායකත්වය ලබා දෙන්නේ ජේ.ඩී. වෑන්ස් මහතා බවට වාර්තා පළ වුවද, වොෂින්ටන් පරිපාලනය ඒ පිළිබඳව මෙතෙක් නිල ප්‍රකාශයක් සිදු කර නැත.














