අමෙරිකාව සහ ඉරානය අතර සති දෙකක තාවකාලික සටන් විරාමයක් ප්‍රකාශයට පත් කර පැය කිහිපයක් ගත වීමටත් පෙර, මැදපෙරදිග යුද ගින්න නැවතත් ඇවිලී ගොස් තිබේ. ඊශ්‍රායලය විසින් බීරූට් ඇතුළු ලෙබනනයේ ඉලක්ක 100කට අධික සංඛ්‍යාවකට එල්ල කරන ලද ප්‍රබල ගුවන් ප්‍රහාර මාලාවට ප්‍රතිචාර දක්වමින්, හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා තෙල් නෞකා ගමනාගමනය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට ඉරානය පියවර ගෙන ඇත. සටන් විරාම කොන්දේසි ඊශ්‍රායලය විසින් අමුවේ උල්ලංඝනය කර ඇති බවත්, ලෙබනනයේ සිවිල් වැසියන් මියයෑම හමුවේ තවදුරටත් නිහඬව සිටිය නොහැකි බවත් පවසමින් ඉරානය මෙම දැඩි තීරණය ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ලෝකයේ සමස්ත තෙල් සහ ගෑස් අවශ්‍යතාවයෙන් 20%ක් පමණ ප්‍රවාහනය කෙරෙන මෙම උපායමාර්ගික මුහුදු මාර්ගය යළිත් අවහිර වීමත් සමඟ ගෝලීය බලශක්ති සැපයුම සහ ලෝක ආර්ථිකය දැඩි අවදානමකට ලක්ව තිබේ. සටන් විරාමයෙන් පසු යළි ගමන් ආරම්භ කළ නෞකා ද්විත්වය යාත්‍රා කර සුළු වේලාවකට පසු මෙම තීරණය ක්‍රියාත්මක වීම විශේෂත්වයකි. ලෙබනනයට එල්ල කරන ප්‍රහාර වහාම නතර නොකළහොත් තමන් සටන් විරාමයෙන් මුළුමනින්ම ඉවත් වන බවට ද ඉරානය අනතුරු අඟවා ඇත. ජනාධිපති ට්‍රම්ප් විසින් “ලෙබනනය ගිවිසුමට ඇතුළත් නැතැයි” කළ ප්‍රකාශය මෙම තත්ත්වය තවදුරටත් උග්‍ර කර ඇති අතර, කලාපීය සාමය උදෙසා පාකිස්ථානයේදී පැවැත්වීමට නියමිතව තිබූ සාකච්ඡා ද දැන් අවිනිශ්චිත වී තිබේ.













