අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පාස්කු ඉරිදා දින (05) සිය සමාජ මාධ්‍ය ගිණුම හරහා ඉරානය වෙත දැඩි අනතුරු ඇඟවීමක් සිදු කරමින් ප්‍රකාශ කර ඇත්තේ, උපායමාර්ගිකව වැදගත් හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) වහාම විවෘත නොකළහොත් ලබන අඟහරුවාදා වන විට ඉරානයේ විදුලි බලාගාර සහ පාලම් ඉලක්ක කර ප්‍රහාර එල්ල කරන බවයි.
අමෙරිකාව සහ ඉශ්‍රායලය විසින් ඉරානයට එල්ල කළ ප්‍රහාරවලින් පසුව ටෙහෙරානය විසින් මෙම මුහුදු මාර්ගය වසා දැමූ අතර, ඒ හේතුවෙන් ගෝලීය වෙළඳාමට දැඩි බලපෑම් එල්ල වී තිබේ. “අඟහරුවාදා දිනය ඉරානයේ බලාගාර සහ පාලම් විනාශ කරන දිනය වනු ඇත” යනුවෙන් ට්‍රම්ප් සිය සටහනෙහි දක්වා ඇති අතර, එදින අමෙරිකානු වේලාවෙන් රාත්‍රී 8:00 වන විට සමුද්‍ර සන්ධිය විවෘත කළ යුතු බවට අවසාන නිවේදනයක් ද නිකුත් කර ඇත.
මේඅතර, ඉරානය තුළ සිදු කළ පැය 48ක මෙහෙයුමකින් පසුව අමෙරිකානු ගුවන් නියමුවන් දෙදෙනෙකු බේරා ගැනීමට සමත්ව ඇති බවත්, ඉන් එක් අයෙකු බරපතළ තුවාල ලබා ඇති බවත් වාර්තා වේ. ට්‍රම්ප්ගේ මෙම දැඩි ප්‍රකාශ හමුවේ අමෙරිකානු සෙබළුන්ගේ ආරක්ෂාව තර්ජනයට ලක්විය හැකි බවට එරට ඩිමොක්‍රටික් පක්ෂ සෙනෙට් සභිකයින් අනතුරු අඟවන අතර, සිවිල් වැසියන්ට ප්‍රහාර එල්ල වුවහොත් අමෙරිකානු අවශ්‍යතාවලට පහර දෙන බවට ඉරානය ද ප්‍රතිචාර දක්වා තිබේ.













