බටහිර ආසියාවේ පවතින උග්‍ර යුදමය වාතාවරණය හමුවේ ඉරානයේ ආර්ථිකයේ ප්‍රධානතම ජීවනාලිය වන කාර්ග් දූපත (Kharg Island) සිය පාලනයට නතු කර ගැනීම කෙරෙහි ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අවධානය යොමුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙම උපායමාර්ගික දූපත පිළිබඳ වැදගත් තොරතුරු මෙසේය. පර්සියානු ගල්ෆ් කලාපයේ ඉරාන ප්‍රධාන ගොඩබිමේ සිට කිලෝමීටර් 24ක් පමණ දුරින් පිහිටි මෙම කුඩා දූපත, ඉරානයේ සමස්ත බොරතෙල් අපනයනයෙන් 90%ක්ම හසුරුවන ප්‍රධාන මධ්‍යස්ථානයයි. CNBC වාර්තාවලට අනුව මෙම දූපතට දිනකට තෙල් බැරල් මිලියන 7ක් නැව්ගත කිරීමේ දැවැන්ත හැකියාවක් පවතී. ඉරාන තෙල් ලෝක වෙළඳපොළට පිවිසෙන හෝර්මුස් සමුද්‍ර සන්ධියට පෙර පවතින ප්‍රධානතම නැවතුම්පොළ මෙයයි.
ඉරානය සතු අධි-සැපයුම් යුරේනියම් තොග අත්පත් කර ගැනීමට අමතරව, මෙම තෙල් දූපතේ පාලනය නතු කර ගැනීම හරහා ඉරාන ආර්ථිකය සම්පූර්ණයෙන්ම අඩපණ කිරීමට ඇමෙරිකාව සලකා බලමින් සිටී. මෙම යුදමය තර්ජනය හේතුවෙන් අද (09) දිනයේ ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල බැරලයක් ඇමෙරිකානු ඩොලර් 119 දක්වා ශීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබේ. මෙතෙක් පැවැති ගැටුම්වලදී මෙම දූපතට ප්‍රහාර එල්ල නොවූවත්, වත්මන් තත්ත්වය හමුවේ එය දැඩි අවදානමකට ලක්ව ඇති බව දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.















