ඉරානයට එරෙහිව අමෙරිකාව සහ ඊශ්‍රායලය දියත් කර ඇති දැවැන්ත ප්‍රහාර හමුවේ එරට පාලන තන්ත්‍රය වෙනස් වුවද, ඉන් පසුව බලයට පත්වන නව නායකත්වය ද වොෂින්ටනයට පෙර පරිදිම තර්ජනයක් විය හැකි බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය කනස්සල්ල පළ කර තිබේ. ජර්මානු චාන්සලර් ෆ්‍රෙඩ්රික් මර්ස් (Friedrich Merz) සමඟ ධවල මන්දිරයේ පැවති හමුවකදී ඔහු මේ බව ප්‍රකාශ කළේය.
ඉරානයේ වත්මන් පාලනය පෙරළා දැමීමෙන් පසු බලයට පත්වන පුද්ගලයා ද පෙර සිටි අය මෙන්ම දරුණු වුවහොත් එය බරපතල ගැටලුවක් වනු ඇති බව ඔහු පෙන්වා දුන්නේය. “අපි මේ දේ කරලා වසර පහකට පස්සේ බලද්දී, කලින් හිටපු කෙනාට වඩා හොඳ නැති කෙනෙක්ව අපි පත් කරගෙන කියලා තේරුම් ගත්තොත් ඒක තමයි නරකම තත්ත්වය,” යනුවෙන් ට්‍රම්ප් පවසා ඇත.
ඉරානය තුළ වඩාත් මධ්‍යස්ථ මතධාරී නායකත්වයක් බිහිවනු දැකීමට තමා කැමති වුවද, අමෙරිකාව විසින් හඳුනාගෙන සිටි එවැනි නායකයින් කිහිපදෙනෙකුම දැනටමත් ප්‍රහාරවලින් මියගොස් ඇති බව ජනාධිපතිවරයා මෙහිදී අනාවරණය කළේය. තවත් පිරිසක් ද මියගොස් ඇති බවට වාර්තා ලැබෙමින් පවතින බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබේ.














