පසුගිය පෙබරවාරි 28 වැනිදා ආරම්භ වූ අමෙරිකා-ඉරාන යුද්ධය සිව්වන සතියට එළඹෙද්දී යුද්ධය අවසන් කිරීම සඳහා වූ කරුණු 15කින් යුත් සාම සැලැස්මක් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පකිස්ථානය හරහා ඉරානය වෙත යොමු කර තිබේ. අද (2026 මාර්තු 25) පෙරවරුවේ වාර්තා වූ පරිදි මෙම සැලැස්ම මගින් මාසයක කාලයකට සටන් විරාමයක් ප්‍රකාශ කර ස්ථිර එකඟතාවකට පැමිණීමට යෝජනා කර ඇත. අමෙරිකානු සාම සැලැස්මේ ප්‍රධාන කරුණු ලෙස ඉරානය සතු සියලුම න්‍යෂ්ටික පහසුකම් ඉවත් කිරීම සහ යුරේනියම් පිරිපහදු කිරීම සම්පූර්ණයෙන්ම නැවැත්වීම ඇතුළත් වේ. එසේම බැලස්ටික් මිසයිල නිෂ්පාදනය සීමා කිරීම සහ හෝමූස් සමුද්‍ර සන්ධිය ලෝක වෙළඳාම සඳහා විවෘතව තැබීමට සහතික වීම ද මීට අයත්ය. මීට අමතරව කලාපයේ පවතින සන්නද්ධ කණ්ඩායම් වෙත ලබා දෙන මූල්‍ය සහ අවි ආයුධ සැපයීම නැවැත්වීම ද ප්‍රධාන කොන්දේසියකි.
මෙම කොන්දේසිවලට එකඟ වන්නේ නම් ඉරානයට පනවා ඇති සියලුම සම්බාධක ඉවත් කිරීමටත් බුෂෙහර් (Bushehr) පරමාණුක බලාගාරය සිවිල් අවශ්‍යතා සඳහා දියුණු කිරීමට සහාය වීමටත් අමෙරිකාව පොරොන්දු වී ඇත. වත්මන් තත්ත්වය පිළිබඳව අදහස් දක්වන ඉරාන හමුදා ප්‍රකාශකයින් මෙම සාකච්ඡා පිළිබඳ පුවත් ප්‍රතික්ෂේප කරමින් පවසන්නේ අමෙරිකාව තම පරාජය වසා ගැනීමට මෙවැනි පුවත් මවන බවයි. ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙදන්යාහු ද මෙම සාකච්ඡා පිළිබඳව සිය දැඩි සැකය පළ කර ඇත. මේ අතර අමෙරිකානු 82 වන ගගනගාමී බලසේනාවේ (82nd Airborne Division) සෙබළුන් 1,000ක් අමතරව මැදපෙරදිග වෙත පිටත් කර ඇති අතර ‘Operation Epic Fury’ මෙහෙයුම යටතේ ඉරානයට එල්ල කරන ප්‍රහාර ද අඛණ්ඩව ක්‍රියාත්මක වේ.














