ඉරාන නියෝජිතයින් සමඟ පකිස්ථානයේ ඉස්ලාමාබාද් නුවරදී පැවැති තීරණාත්මක සාම සාකච්ඡා වටයෙන් අනතුරුව ඇමරිකානු උප ජනාධිපති ජේ.ඩී. වෑන්ස් (JD Vance) විශේෂ ප්‍රකාශයක් සිදු කර තිබේ. එහිදී ඔහු පෙන්වා දුන්නේ දෙපාර්ශවය අතර සැලකිය යුතු මට්ටමේ කරුණු හුවමාරුවක් සිදු වූ බවත්, එය යහපත් ප්‍රවණතාවක් බවත්ය. කෙසේ වෙතත්, අවසන් එකඟතාවයකට පැමිණීමට දෙපාර්ශවයම තවමත් අපොහොසත් වීම කණගාටුවට කරුණක් බව ඔහු මෙහිදී අවධාරණය කළේය.
පැය 14කට අධික කාලයක් පුරා පැවැති මෙම සාකච්ඡා වටයේදී ඇමරිකාව ඉදිරිපත් කළ සාම කොන්දේසි කිහිපයක් ඉරානය විසින් ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වේ. විශේෂයෙන්ම කලාපීය ආරක්ෂාව සහ න්‍යෂ්ටික වැඩපිළිවෙළ සම්බන්ධයෙන් පවතින ගැඹුරු මතභේද මෙම එකඟතාවය බිඳ වැටීමට ප්‍රධාන හේතුව වී ඇත. මෙම ප්‍රකාශයෙන් පසු උප ජනාධිපතිවරයා ඇතුළු දූත පිරිස ‘Air Force 2’ නිල ගුවන් යානයෙන් වොෂින්ටනය බලා පිටත්ව ගොස් තිබේ.
මැදපෙරදිග කලාපයේ පවතින උණුසුම්කාරී තත්ත්වය සමනය කර ගැනීම සඳහා මෙම සාකච්ඡා වටය බෙහෙවින් තීරණාත්මක වනු ඇතැයි විදේශ දේශපාලන විශ්ලේෂකයෝ මීට පෙර අපේක්ෂා කළහ. එහෙත් නිල එකඟතාවයකින් තොරව සාකච්ඡා අවසන් වීම හේතුවෙන් කලාපීය සාමය පිළිබඳ බලාපොරොත්තු තවදුරටත් අවිනිශ්චිත තත්ත්වයකට පත්ව ඇත.














