මධ්‍යම පෙරදිග පවතින ගැටුම් අවසන් කිරීමේ අරමුණින් ඇමරිකාව සහ ඉරානය අතර පාකිස්ථානයේ ඉස්ලාමාබාද් නුවර පැවැත්වෙන ඓතිහාසික මුහුණට මුහුණ සාකච්ඡා අද (12) රාත්‍රිය පුරාම ක්‍රියාත්මක වේ. සාකච්ඡා ආරම්භයේදී දෙරටේ නියෝජිත පිරිස් පාකිස්ථාන අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් හමුවූ අතර, සාකච්ඡා ඵලදායී ලෙස ඉදිරියට ගෙන යාමට හැකි වනු ඇතැයි ඔහු එහිදී බලාපොරොත්තු පළ කළේය.
කෙසේ වෙතත්, ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය ‘Truth Social’ ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කර ඇත්තේ මෙම සාකච්ඡාවලින් එකඟතාවක් ඇති වුවද නැතද තමන්ට ඉන් වෙනසක් නොවන බවයි. ඉරානය දැනටමත් මෙම ගැටුමෙන් දැඩි ලෙස පරාජයට පත්වෙමින් සිටින බවත්, ටෙහෙරානය විසින් වසා දැමූ ලොව ප්‍රධානතම නැව් මාර්ගයක් වන හෝමුස් සමුද්‍ර සන්ධිය ඇමරිකාව විසින් මේ වන විට “පිරිසිදු කරමින්” (Clearing out) පවතින බවත් ට්‍රම්ප් අවධාරණය කර ඇත.
මේ අතර, ලබන සතියේදී ලෙබනනය සහ ඊශ්‍රායලය අතර ද සාකච්ඡා ආරම්භ වීමට නියමිතව තිබීම තවත් වැදගත් වර්ධනයකි. මෙම රාජ්‍ය තාන්ත්‍රික ප්‍රයත්නයන් සිදුවන අතරතුර පවා, ඊශ්‍රායල හමුදාව ප්‍රකාශ කර ඇත්තේ පසුගිය පැය 24 තුළ පමණක් ලෙබනනයේ හිස්බුල්ලා ඉලක්ක 200 කට අධික සංඛ්‍යාවකට ප්‍රහාර එල්ල කළ බවයි. හෝමුස් සමුද්‍ර සන්ධියේ පාලනය සහ ඉරානයට එරෙහි සම්බාධක ලිහිල් කිරීම මෙම සාකච්ඡාවල පවතින ප්‍රධාන ගැටලුකාරී කරුණු බව විදේශ වාර්තා සඳහන් කරයි.














