කලාපයේ සිටින ඇමෙරිකානු හමුදා ඛණ්ඩ සහ යුද නෞකාවල පිහිටීම පිළිබඳව රුසියාව විසින් ඉරානයට රහසිගත බුද්ධි තොරතුරු ලබා දෙන බවට පළවන වාර්තා පිළිබඳව වොෂින්ටනය අනවශ්‍ය ලෙස බිය නොවන බව ඇමෙරිකානු ආරක්ෂක ලේකම් පීට් හෙගසෙත් (Pete Hegseth) ප්‍රකාශ කර තිබේ. රුසියාව හෝ චීනය මෙම ගැටුම තුළ තීරණාත්මක සාධක නොවන බවත්, ඕනෑම තර්ජනයකට මුහුණ දීමට ඇමෙරිකාව සූදානම් බවත් ඔහු අවධාරණය කළේය.
CBS පුවත් සේවයේ “60 Minutes” වැඩසටහන සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් හෙගසෙත් සඳහන් කළේ, රුසියාව සහ ඉරානය අතර සිදුවන ගනුදෙනු පිළිබඳව ඇමෙරිකාව මැනවින් දැනුවත් බවයි. “අපගේ අණදෙන නිලධාරීන් සියල්ල දන්නවා. ලොව හොඳම බුද්ධි තොරතුරු පද්ධතිය ඇත්තේ අපටයි. කවුද කා සමඟද කතා කරන්නේ කියා අප හොඳින් නිරීක්ෂණය කරනවා,” යැයි ඔහු එහිදී පවසා තිබේ.
රුසියාව විසින් ඇමෙරිකානු ගුවන් යානා සහ නෞකාවල ගමන් මඟ පිළිබඳ තොරතුරු ඉරානයට ලබා දීම මොස්කව් පාලනය මෙම ගැටුමට සෘජුව මැදිහත් වන බවට ලැබුණු පළමු ඉඟිය බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි. කෙසේ වෙතත්, ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මේ පිළිබඳව නිරන්තරයෙන් දැනුවත් වන බවත්, රහසිගතව සිදුවන ඕනෑම විදෙස් මැදිහත්වීමකට ඇමෙරිකාව දැඩි ලෙස ප්‍රතිචාර දක්වන බවත් හෙගසෙත් වැඩිදුරටත් අනතුරු ඇඟවීය.














