ඉරානයේ බලශක්ති බලාගාර ඉලක්ක කර ගනිමින් එල්ල කිරීමට සැලසුම් කර තිබූ ප්‍රහාර තවත් දින දහයකින්, එනම් අප්‍රේල් මස 6 වැනිදා දක්වා කල් දැමීමට පියවර ගත් බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා ප්‍රකාශ කර තිබේ. Fox News නාලිකාව සමඟ දුරකථනයෙන් සම්බන්ධ වෙමින් ජනාධිපතිවරයා සඳහන් කළේ ඉරානය විසින් දින හතක සහන කාලයක් ඉල්ලා සිටියද, තමන් ඔවුන්ට දින දහයක කාලයක් ලබා දුන් බවයි. ඉරානය සමඟ පවත්වන සාකච්ඡා මේ වන විට සාර්ථක මට්ටමක පවතින බවත්, මෙම තීරණය පිළිබඳව ටෙහෙරානය බෙහෙවින් කෘතඥ වන බවත් ඔහු වැඩිදුරටත් පවසා ඇත.
මීට පෙර ප්‍රහාරක විරාමය දින පහේ සිට සති දෙකක් දක්වා දීර්ඝ කරන බව ට්‍රම්ප් මහතා සිය Truth Social ගිණුම හරහා ද නිවේදනය කර තිබිණි. හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා තෙල් නැව් ගමන් කිරීමට ඉරානය අවසර ලබා දීම තමන්ට ලැබුණු විශේෂ “තෑග්ගක්” ලෙස හඳුන්වා දුන් ජනාධිපතිවරයා, එම සාධනීය පියවර සැලකිල්ලට ගනිමින් මෙම සහන කාලය ලබා දුන් බව අවධාරණය කළේය. කෙසේ වෙතත්, යුද්ධය අවසන් කිරීමේ අරමුණින් මෙවැනි සාකච්ඡා පවත්වන බවට එල්ල වන වාර්තා ඉරාන පාර්ශවය විසින් මෙතෙක් නිල වශයෙන් පිළිගෙන නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.














