මැදපෙරදිග යුද්ධය හයවන දිනටත් ක්‍රියාත්මක වෙමින් පවතින අතර, ඉරානය තුළ ගොඩබිම් මෙහෙයුම් සඳහා අමෙරිකානු හමුදා වෙනුවට ඉරාකයේ වෙසෙන පිටුවහල් කළ ඉරාන කුර්දි විරුද්ධ පක්ෂ කණ්ඩායම් යොදාගැනීමේ හැකියාව පිළිබඳව ජාත්‍යන්තර අවධානය යොමුව තිබේ. උතුරු ඉරාකයේ සිටින කුර්දි සටන්කාමීන් (Peshmerga) තමන් දේශසීමා තරණය කිරීමට සූදානම් බව පවසන නමුත් තවමත් එවැනි ගමනක් ආරම්භ කර නොමැති බව අවධාරණය කරයි.
කුර්දිස්ථාන නිදහස් පක්ෂය (PAK) ඇතුළු කණ්ඩායම් හයක් මේ වන විට දේශපාලනික සහ මිලිටරිමය වශයෙන් සන්ධානගත වී ඇති අතර, ඔවුන් ඉරාන ඉස්ලාමීය සමූහාණ්ඩුවට එරෙහිව සටන් කිරීමට වසර 47ක සිට සූදානමින් සිටින බව පවසයි. කෙසේ වෙතත්, ඉරාන රජය සතු දරුණු අවි ආයුධ හමුවේ සිය සටන්කාමීන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා අමෙරිකාව විසින් ඉරානයට ඉහළින් ‘නොපියාඹන කලාපයක්’ ප්‍රකාශයට පත් කළ යුතු බවත්, ඉරානයේ අවි ගබඩා විනාශ කළ යුතු බවත් ඔවුන් ඉල්ලා සිටියි.
මැදපෙරදිග සිව්වන විශාලතම ජනවාර්ගික කණ්ඩායම වන කුර්දිවරුන් (මිලියන 30–45 අතර ප්‍රමාණයක්) ඉරානය, ඉරාකය, සිරියාව සහ තුර්කිය යන රටවල විසිරී සිටිති. මින් පෙර ඉස්ලාමීය රාජ්‍ය (IS) ත්‍රස්තවාදීන්ට එරෙහිව සටන් කිරීම සඳහා අමෙරිකානු පුහුණුව ලැබූ මොවුන්, මෙවර ද අමෙරිකාවේ සහය අපේක්ෂා කරයි. එහෙත්, මීට පෙර අවස්ථාවලදී අමෙරිකාව තමන්ව අත්හැර දැමූ ආකාරය පිළිබඳව ද ඔවුහු විමසිල්ලෙන් පසුවෙති. මේ අතර, ඉරානය විසින් උතුරු ඉරාකයේ පිහිටි මෙම කුර්දි කඳවුරු ඉලක්ක කර ගනිමින් බැලස්ටික් මිසයිල ප්‍රහාර එල්ල කිරීම ද ආරම්භ කර ඇත.














