ඉරානයේ පර්සියානු බොක්කේ පිහිටි උපායමාර්ගිකව ඉතා වැදගත් වන කාග් දූපත (Kharg Island) ඉලක්ක කරගනිමින් ඇමෙරිකානු සහ ඊශ්‍රායල ගුවන් හමුදා අද (අප්‍රේල් 07) පෙරවරුවේ දැවැන්ත ප්‍රහාර මාලාවක් එල්ල කර ඇති බව විදේශීය මාධ්‍ය වාර්තා කරයි. ඉරානයේ තෙල් අපනයනයෙන් 90%කට වඩා වැඩි ප්‍රමාණයක් හැසිරවෙන මෙම දූපතේ පිහිටි යුදමය ඉලක්ක සහ යටිතල පහසුකම් මෙලෙස ප්‍රහාරයට ලක්ව තිබේ.
මෙම ප්‍රහාරය එල්ල වී ඇත්තේ හෝමූස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) නැවත විවෘත කිරීම සඳහා ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ලබා දී තිබූ කාලසීමාව (Deadline) අවසන් වීමට පැය කිහිපයකට පෙරය. කාග් දූපතේ පිහිටි හමුදා මධ්‍යස්ථාන, ගුවන් ආරක්ෂක පද්ධති සහ නාවික කඳවුරු ඉලක්ක කර ඇති බව ඇමෙරිකානු නිලධාරීන් තහවුරු කර තිබේ.
ප්‍රහාරය හේතුවෙන් දූපතේ ප්‍රබල පිපිරීම් රැසක් සිදුව ඇති බව ඉරානයේ මෙහර් (Mehr) පුවත් ඒජන්සිය වාර්තා කරන අතර, ඇතැම් වාර්තාවලට අනුව තෙල් ගබඩා සංකීර්ණවලට ද හානි සිදුව ඇත. මෙමඟින් ගෝලීය බලශක්ති වෙළෙඳපොළට දැඩි බලපෑමක් එල්ල වනු ඇතැයි අපේක්ෂා කෙරේ. මේ අතර, මෙම ප්‍රහාරයට පිළිතුරු වශයෙන් ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) ප්‍රකාශ කර ඇත්තේ “ඉවසීමේ සීමාව අවසන්” බවයි. කලාපයේ පවතින ඇමෙරිකානු හමුදා කඳවුරු සහ ඔවුන්ගේ මිත්‍ර පාර්ශවයන්ගේ තෙල් සහ ගෑස් යටිතල පහසුකම් ඉලක්ක කර ප්‍රහාර එල්ල කරන බවට ද ඉරානය අනතුරු අඟවා තිබේ.
මේ වන විට මැදපෙරදිග කලාපය පුරා දැඩි යුදමය උණුසුමක් පවතින අතර, ජාත්‍යන්තර ප්‍රජාව මෙම තත්ත්වය තවදුරටත් උග්‍ර වීම වැළැක්වීමට උත්සාහ කරමින් සිටියි.











