අමෙරිකාව සහ ඊශ්‍රායලය එක්ව ඉරානයට එරෙහිව ආරම්භ කළ දැවැන්ත හමුදා මෙහෙයුමට අදට (28) මසක් සම්පූර්ණ වන අතර, මෙම කාලය තුළ පුද්ගල මරණ 3,000කට අධික සංඛ්‍යාවක් වාර්තා වී තිබේ. යුද්ධයේ දරුණුතම බලපෑම ඉරානයට එල්ල වී ඇති අතර, ඊයේ (27) වන විට එරටින් පමණක් මරණ 1,937ක් සහ තුවාලකරුවන් 24,800ක් වාර්තා වී ඇති බව තහවුරු වේ. ඉරානය එල්ල කළ ප්‍රතිප්‍රහාර හමුවේ අමෙරිකානු සෙබළුන් 13 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව 300කට අධික පිරිසක් තුවාල ලබා ඇති අතර, ඊශ්‍රායලයේ පුද්ගලයන් 19 දෙනෙකු මියගොස් 5,400කට වැඩි පිරිසක් තුවාල ලබා ඇත. මෙම ගැටුම හුදෙක් ඉරානයට පමණක් සීමා නොවී මැදපෙරදිග කලාපීය රටවල් 11ක් දක්වා ව්‍යාප්ත වී තිබීම ලෝක අවධානයට යොමු වූ බරපතල කරුණකි.
ඉරාන ප්‍රහාර හමුවේ එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ඕමානය, බහරේනය, කුවෙට් සහ සෞදි අරාබිය යන රටවලින් ද මරණ සහ තුවාලකරුවන් වාර්තා වන අතර, සිරියාව සහ පලස්තීනය යන රටවලට ද මෙයින් බලපෑම් එල්ල වී තිබේ. විශේෂයෙන්ම ඉරාකය, ඉරාන හිතවාදී සහ අමෙරිකානු හිතවාදී කණ්ඩායම් දෙපාර්ශවයේම ප්‍රහාරවලට ලක්වීම නිසා එරට මරණ සංඛ්‍යාව 100කට ආසන්න වෙමින් පවතී. මීට අමතරව, ඊශ්‍රායලය ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන් සමඟ දරුණු යුද්ධයක නිරතව සිටින අතර, එම පෙරමුණේ පමණක් ලෙබනන් ජාතිකයන් 1,116ක් මියගොස් 3,000කට අධික පිරිසක් තුවාල ලබා සිටිති. මෙම සමස්ත තත්ත්වය හමුවේ මැදපෙරදිග කලාපය දැඩි අස්ථාවරත්වයකට පත්ව ඇති අතර ගෝලීය ආර්ථිකයට ද එහි බලපෑම තදින්ම දැනෙමින් පවතී.














