අමෙරිකා-ඊශ්‍රායල සහ ඉරාන යුද්ධය දෙවන මාසයටත් එළඹීමත් සමඟ, ගෝලීය බලශක්ති සැපයුමට එල්ල වී ඇති බාධා මගහරවා ගැනීම සඳහා චීනය සාම සාධක භූමිකාවකට පිවිසීමට සූදානම් වන බව අද (01) වාර්තා විය. අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් යුද්ධය තවත් සති කිහිපයකින් අවසන් විය හැකි බවට කළ ප්‍රකාශයත් සමඟ චීනයේ මෙම මැදිහත්වීම තීරණාත්මක වී තිබේ.
පකිස්ථානය සමඟ එක්ව චීනය කරුණු පහකින් යුත් සාම සැලැස්මක් ඉදිරිපත් කර ඇති අතර, එහි ප්‍රධාන අරමුණ වන්නේ සටන් විරාමයක් ඇති කිරීම සහ වැසී පවතින හෝමූස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) යළි විවෘත කිරීමයි. ලොව විශාලතම බොරතෙල් ආනයනකරුවා වන චීනය, මෙම යුද්ධය හේතුවෙන් තම රටේ නිෂ්පාදන සහ අපනයන ක්ෂේත්‍රයට එල්ල විය හැකි ආර්ථික බලපෑම පිළිබඳව දැඩි අවධානයෙන් පසුවේ.
චීන ජනාධිපති ෂී ජින්පිං (Xi Jinping) සහ ඩොනල්ඩ් ට්‍රම්ප් අතර ලබන මාසයේ පැවැත්වීමට නියමිත තීරණාත්මක වෙළෙඳ සාකච්ඡාවලට පෙර චීනය මෙලෙස සාම සාධක භූමිකාවකට අවතීර්ණ වීම විශේෂත්වයකි. ගෝලීය ආර්ථික ස්ථාවරත්වය චීනයේ කර්මාන්තශාලාවල පැවැත්මට අත්‍යවශ්‍ය වන බැවින්, මෙම යුද්ධය දිගුකාලීන බලශක්ති අර්බුදයක් දක්වා වර්ධනය වීම වැළැක්වීමට බීජිං පාලනය උත්සාහ දරමින් සිටියි. දේශපාලන විචාරකයන් පෙන්වා දෙන්නේ වොෂින්ටනයට එදිරිවාදියෙකු ලෙස නොව, ගෝලීය වගකීමක් දරන පාර්ශවයක් ලෙස පෙනී සිටීමට චීනය මෙම අවස්ථාව භාවිතා කරන බවයි.














