අමෙරිකාව, ඉශ්‍රායලය සහ ඉරානය අතර පවතින යුදමය වාතාවරණයේ 11 වන දිනය වන මාර්තු 10 දිනය ඉරානයට එරෙහිව එල්ල කරන දරුණුතම ප්‍රහාරක දිනය වනු ඇතැයි අමෙරිකානු ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් (Pete Hegseth) අනතුරු අඟවයි. ඉරානය හිතාමතාම අහිංසක සිවිල් වැසියන් ඉලක්ක කරන බවට චෝදනා කරන ඔහු, අද දිනයේ වැඩිම ප්‍රහාරක ගුවන් යානා සහ බෝම්බ හෙලන යානා ප්‍රමාණයක් යොදා ගනිමින් ඉරානයට දැවැන්ත ප්‍රහාර මාලාවක් දියත් කරන බව ප්‍රකාශ කළේය.
‘ඔපරේෂන් එපික් ෆියුරි’ (Operation Epic Fury) මෙහෙයුමේ ප්‍රධාන අරමුණ ඉරානයේ මිසයිල ගබඩා, නාවික හමුදාව සහ ආරක්ෂක කර්මාන්ත පද්ධතිය විනාශ කිරීම බව හෙග්සෙත් පෙන්වා දුන්නේය. විශේෂයෙන්ම හෝමුස් සමුද්‍ර සන්ධියේ තෙල් ප්‍රවාහනයට බාධා කිරීමට ඉරානය උත්සාහ කළහොත් ඔවුන්ට මින් පෙර කිසිදා අත්නොවිඳි ප්‍රහාරයකට මුහුණ දීමට සිදුවනු ඇතැයි ද ඔහු අවධාරණය කළේය. අමෙරිකාව සහ ඉශ්‍රායලය එක්ව ආරම්භ කළ මෙම යුද්ධය මේ වන විට මැදපෙරදිග කලාපයේ අනෙකුත් රටවල් කරා ද ව්‍යාප්ත වෙමින් පවතින අතර, ඉරානය විසින් අමෙරිකානු හමුදා කඳවුරු ඉලක්ක කර ප්‍රහාර දියත් කරමින් සිටියි.














