දකුණු පළාතේ ප්‍රාදේශීය අපනයනකරුවන් මුහුණ දෙන ගැටලු හඳුනාගෙන ඒවාට කඩිනම් විසඳුම් ලබා දීම සහ නව අපනයන වෙළෙඳපොළ අවස්ථා විවර කර දීමේ අරමුණින් සංවිධාන කළ ‘දකුණු පළාත් ප්‍රාදේශීය අපනයනකරුවන්ගේ ජාලකරණ සමුළුව’ අද (මාර්තු 03) මාතරදී උත්කර්ෂවත් අයුරින් පැවැත්වුණා. ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) විසින් සංවිධානය කරන ලද මෙම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස කර්මාන්ත හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා සහභාගී වූ අතර, ගාල්ල, මාතර, හම්බන්තොට සහ මොනරාගල යන දිස්ත්‍රික්ක නියෝජනය කරමින් සුළු හා මධ්‍ය පරිමාණ අපනයනකරුවන් 250කට අධික පිරිසක් මීට එක්ව සිටියා.
මෙහිදී අමාත්‍යවරයා අවධාරණය කළේ පවතින ගෝලීය ආර්ථික අර්බුද හමුවේ වුවද දේශීය නිෂ්පාදකයා ආරක්ෂා කරමින් අපනයන ආදායම වැඩිකර ගැනීමට රජය උපරිම සහය ලබා දෙන බවයි. සහභාගී වූ අපනයනකරුවන්ට තම ව්‍යාපාරික ගැටලු, බදු සහන සහ ප්‍රවාහන බාධාවන් පිළිබඳව සෘජුවම අමාත්‍යවරයා සහ නිලධාරීන් දැනුවත් කිරීමට මෙහිදී අවස්ථාව හිමිවූ අතර, එම ගැටලුවලට ක්ෂණික විසඳුම් ලබා දීමට ද පියවර ගැනුණා. මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී නිහාල් ගලප්පත්ති මහතා සහ අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති මංගල විජේසිංහ මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් රැසක් ද සහභාගී වුණා.















