ඇමෙරිකාව සහ ඊශ්‍රායලය එක්ව ඉරානයට එරෙහිව දැවැන්ත ගුවන් ප්‍රහාර මාලාවක් දියත් කළද, එරට දශක ගණනාවක් මුල් බැසගත් ආගමික සහ මිලිටරි පාලන ව්‍යුහය පෙරළා දැමීම අසීරු වනු ඇති බවට ඇමෙරිකානු ජාතික බුද්ධි මණ්ඩලය (NIC) අනතුරු අඟවයි. ‘වොෂින්ටන් පෝස්ට්’ පුවත්පත උපුටා දක්වන මෙම රහසිගත වාර්තාවට අනුව, ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි ඝාතනය වුවද, එරට ආරක්ෂක අංශ සහ පූජක මණ්ඩලය සතු ස්ථාවර අනුප්‍රාප්තික ක්‍රියාවලිය හේතුවෙන් පාලනය බිඳ වැටීමේ සම්භාවිතාව ඉතා අඩු බව පෙන්වා දී ඇත.
ධවල මන්දිර ප්‍රකාශිකා ඇනා කෙලී සඳහන් කර ඇත්තේ “ඔපරේෂන් එපික් ෆියුරි” (Operation Epic Fury) මෙහෙයුම හරහා ඉරානයේ බැලිස්ටික් මිසයිල නිෂ්පාදන ධාරිතාව සහ නාවික හමුදාව දැනටමත් සැලකිය යුතු ලෙස විනාශ කර ඇති බවයි. කෙසේ වෙතත්, බුද්ධි වාර්තා පවසන්නේ ඉරාන විපක්ෂ කණ්ඩායම් විසිරී පවතින බැවින් පාලන තන්ත්‍රයේ වෙනසක් ඇති කිරීමට තරම් ඔවුන් ශක්තිමත් නොමැති බවයි. මේ අතර, මීළඟ උත්තරීතර නායකයා ලෙස අලි කමේනිගේ පුත් මොජ්තාබා කමේනිගේ නම යෝජනා වී ඇති අතර, ජනාධිපති ට්‍රම්ප් පවසා ඇත්තේ ඉරානයට නව නායකයෙකු පත් කිරීමේදී තමන්ට ද භූමිකාවක් තිබිය යුතු බවයි. මීට දැඩි ප්‍රතිචාර දක්වන ඉරාන පාර්ලිමේන්තු කථානායක මොහොමඩ් බගර් ගලිබාෆ් අවධාරණය කළේ ඉරානයේ අනාගතය තීරණය කරන්නේ විදේශිකයන් නොව එරට ජනතාව පමණක් බවයි.














