ඇමරිකාව සහ ඉශ්‍රායලය එක්ව ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි ඝාතනය කිරීමත් සමඟ මැදපෙරදිග කලාපය දැඩි යුදමය උණුසුමකට ලක්ව තිබේ. මෙයට ප්‍රතිචාර වශයෙන් ඉරානය විසින් කටාර්, බහරේන්, ඕමාන් සහ සවුදි අරාබියේ පිහිටි ඇමරිකානු කඳවුරු ඉලක්ක කර ප්‍රහාර එල්ල කර ඇති අතර, ඩුබායි සහ අබුඩාබි නගරවල ද ප්‍රබල පිපිරීම් වාර්තා වී ඇත. අබුඩාබිහි සායෙඩ් වරාය ඉලක්ක කර එල්ල වූ ප්‍රහාරවලින් පසු එම ප්‍රදේශයෙන් විශාල ලෙස දුම් රොටු නැඟෙන අයුරු විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
ඩුබායිහි ඇමරිකානු කොන්සල් කාර්යාලයට එල්ල වූ නවතම ප්‍රහාරය සහ දිගින් දිගටම එල්ල වන මිසයිල තර්ජන හමුවේ එක්සත් අරාබි එමීර් රාජ්‍යය (UAE) ඉරානයට එරෙහිව යුදමය පියවරක් ගැනීමට සලකා බලමින් සිටින බව වාර්තා වේ. මූලාශ්‍රයන්ට අනුව මේ වන විට එමීර් රාජ්‍යය වෙත ප්‍රක්ෂේපණ 800කට අධික ප්‍රමාණයක් එල්ල වී ඇති අතර, ඉරාන ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාර වැළැක්වීම සඳහා “ආරක්ෂිත ක්‍රියාමාර්ග” ගැනීමට ඔවුන් සැරසෙයි. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නිලධාරියෙකු ප්‍රකාශ කර ඇත්තේ ඕනෑම රටකට තම ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටීමට ස්වෛරී අයිතියක් ඇති බවයි.
කෙසේ වෙතත්, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජාත්‍යන්තර සහයෝගිතා අමාත්‍ය රීම් බින්ට් ඊබ්‍රාහිම් අල් හෂිමි මහත්මිය අවධාරණය කර ඇත්තේ, ඉරානයට එරෙහි කිසිදු සෘජු යුද මෙහෙයුමක් සඳහා එමීර් රාජ්‍යයේ භූමිය භාවිත කිරීමට ඉඩ නොදෙන බවයි. එසේ වුවද, එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියට සහ ජාත්‍යන්තර නීතියට අනුකූලව ස්වයං ආරක්ෂාව සඳහා ඇති අයිතිය භාවිත කිරීමට තම රට පසුබට නොවන බව ඇය වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත. පවතින මෙම අවදානම් තත්ත්වය හේතුවෙන් ඩුබායි සහ අබුඩාබි ගුවන්තොටුපොළවල ගුවන් ගමන් රැසක් අවලංගු වී ඇති අතර සංචාරකයින් විශාල පිරිසක් එරට සිරවී සිටිති.














