මැදපෙරදිග කලාපයේ පවතින දැඩි යුදමය වාතාවරණය හමුවේ ඉහළ යමින් පැවති තෙල් මිල, මුහුදේ අතරමංව ඇති රුසියානු බොරතෙල් සහ පෙට්‍රෝලියම් නිෂ්පාදන මිලදී ගැනීම සඳහා අමෙරිකාව දින 30ක බලපත්‍රයක් නිකුත් කිරීමත් සමඟ අද (13) උදෑසන මඳක් පහත වැටී තිබේ. මෙම පියවර හරහා ගෝලීය බලශක්ති සැපයුම පිළිබඳ පැවති දැඩි අවිශ්චිතතාවය යම් මට්ටමකට සමනය වනු ඇතැයි ආර්ථික විශේෂඥයෝ අපේක්ෂා කරති.
ඒ අනුව බ්‍රෙන්ට් (Brent) වර්ගයේ බොරතෙල් මිල 0.71%කින් පහත වැටී ඩොලර් 99.75ක් ලෙසත්, අමෙරිකානු WTI බොරතෙල් මිල 0.92%කින් පහත වැටී ඩොලර් 94.85ක් ලෙසත් සටහන් විය. අමෙරිකානු භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙස්න්ට් මහතා සඳහන් කළේ ඉරාන යුද්ධය හේතුවෙන් කැළඹීමට පත්ව ඇති ගෝලීය බලශක්ති වෙළඳපොළ ස්ථාවර කිරීම සඳහා මෙම තීරණය ගත් බවයි.
මෙම සහනයට අමතරව, ඉහළ යන තෙල් මිල පාලනය කිරීම සඳහා අමෙරිකාව සිය උපායමාර්ගික තෙල් සංචිතයෙන් (SPR) බැරල් මිලියන 172ක් මුදා හැරීමට ද තීරණය කර ඇති අතර ජාත්‍යන්තර බලශක්ති ඒජන්සිය (IEA) බැරල් මිලියන 400ක වාර්තාගත තෙල් ප්‍රමාණයක් වෙළඳපොළට නිකුත් කිරීමට එකඟ වී තිබේ. කෙසේ වුවද, ඉරානය විසින් හෝමූස් සමුද්‍ර සන්ධිය දිගින් දිගටම වසා තැබීම සහ ඉරාක මුහුදේ තෙල් නැව්වලට ප්‍රහාර එල්ල වීම නිසා සැපයුම් ජාලය තවමත් පවතින්නේ දැඩි අවදානමකය.
පවතින අර්බුදයට විසඳුමක් ලෙස අමෙරිකානු නාවික හමුදාව ජාත්‍යන්තර හවුල්කාරීත්වයක් හරහා හෝමූස් සමුද්‍ර සන්ධිය ඔස්සේ යාත්‍රා කරන නැව්වලට ආරක්ෂාව සැපයීමට සූදානම් වන අතර, සෞදි අරාබිය සිය නැඟෙනහිර-බටහිර නල මාර්ගය හරහා රතු මුහුද ඔස්සේ තෙල් ප්‍රවාහනය කිරීමට විකල්ප මාර්ග සකසමින් සිටියි. එහෙත් හෝමූස් සමුද්‍ර සන්ධිය නිසි ලෙස විවෘත වන තෙක් තෙල් මිලෙහි පවතින මෙම අස්ථාවරත්වය සම්පූර්ණයෙන් සමනය නොවනු ඇතැයි වෙළඳපොළ විශ්ලේෂකයෝ පෙන්වා දෙති.














