ලෝකයේ විශාලතම ආර්ථිකය හිමි ඇමෙරිකා එක්සත් ජනපදයේ රැකියා වෙළඳපොළ පසුගිය පෙබරවාරි මාසයේදී අනපේක්ෂිත පසුබෑමකට ලක්ව ඇති බව එරට කම්කරු දෙපාර්තමේන්තුවේ නවතම දත්ත වාර්තා කරයි. ජනවාරි මාසයේදී රැකියා 126,000ක වර්ධනයක් පෙන්නුම් කළ ද, පෙබරවාරි මාසය වන විට රැකියා 92,000ක් ආර්ථිකයෙන් ගිලිහී ගොස් ඇති අතර විරැකියා අනුපාතය ද ඉහළ ගොස් තිබේ. මෙම දුර්වල දත්ත වාර්තා වීමත් සමඟ වෝල් ස්ට්‍රීට් (Wall Street) ඇතුළු ප්‍රධාන කොටස් වෙළඳපොළ දර්ශක 1%කට වඩා වැඩි අගයකින් පහත වැටී ඇත.
ආර්ථිකය මන්දගාමී වීම හමුවේ ඇමෙරිකානු ෆෙඩරල් බැංකුව (Fed) පොලී අනුපාත අඩු කරනු ඇතැයි ආයෝජකයන් බලාපොරොත්තු වුවද, මැදපෙරදිග යුද්ධය හේතුවෙන් ඉන්ධන මිල ඉහළ යාම එම තීරණය තවදුරටත් සංකීර්ණ කර තිබේ. මේ වන විට බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඩොලර් 92.69 දක්වා 8.5%කින් ඉහළ ගොස් ඇත්තේ හෝර්මුස් සමුද්‍ර සන්ධිය හරහා සිදුවන ප්‍රවාහන කටයුතු ඇනහිටීම හේතුවෙනි. ඇමෙරිකානු සිල්ලර වෙළඳාම ද ජනවාරි මාසයේදී 0.2%කින් පහත වැටී ඇති අතර, මෙම තත්ත්වය ලෝක ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ල කරනු ඇතැයි ආර්ථික විශ්ලේෂකයන් අනතුරු අඟවයි.














