පසුගිය බ්‍රහස්පතින්දා ඉරාකයට ඉහළින් පියාසර කරමින් තිබියදී අනතුරට පත් වූ ඇමරිකානු ගුවන් හමුදාවට අයත් KC-135 ඉන්ධන පිරවුම් යානයේ (Refuelling plane) සිටි පිරිසෙන් සිව්දෙනෙකු මියගොස් ඇති බව ඇමරිකානු මධ්‍යම විධානය (US Central Command) අද (සිකුරාදා) තහවුරු කළේය. අනතුර සිදුවන අවස්ථාවේ යානය තුළ පුද්ගලයන් හයදෙනෙකු සිට ඇති අතර, අනෙක් දෙදෙනා පිළිබඳ තොරතුරු මෙතෙක් නිල වශයෙන් ප්‍රකාශ කර නොමැත.
බටහිර ඉරාක ගුවන් සීමාවේදී තවත් ගුවන් යානයක් සමඟ ඇති වූ යම් සිදුවීමක් හේතුවෙන් මෙම යානය කඩා වැටී ඇති බව වාර්තා වේ. ඉරානයට එරෙහිව ක්‍රියාත්මක වන ඇමරිකානු යුධ මෙහෙයුම්වලට සහාය වෙමින් සිටි මෙම යානය අනතුරට පත්වීමට සතුරු ප්‍රහාරයක් (Hostile fire) හෝ තම පාර්ශවයෙන් එල්ල වූ වැරදි ප්‍රහාරයක් (Friendly fire) හේතු වී නොමැති බව ඇමරිකානු බලධාරීන් අවධාරණය කරයි.
සිද්ධිය සම්බන්ධයෙන් ඇමරිකානු ආරක්ෂක අංශ වැඩිදුර විමර්ශන පවත්වමින් සිටින අතර, පවතින උණුසුම් මැදපෙරදිග වාතාවරණය හමුවේ මෙම ගුවන් අනතුර සිදුවීම විශේෂත්වයකි.














