ඉරානයට එරෙහිව ක්‍රියාත්මක වන ‘ඔපරේෂන් එපික් ෆියුරි’ (Operation Epic Fury) මෙහෙයුමට සහාය වෙමින් සිටි ඇමරිකානු ගුවන් හමුදාවට අයත් KC-135 Stratotanker වර්ගයේ ඉන්ධන පිරවුම් යානයක් බටහිර ඉරාකයේදී අනතුරට ලක්ව තිබේ. ඇමරිකානු මධ්‍යම අණසක (CENTCOM) නිවේදනය කරන පරිදි මෙම සිදුවීම සඳහා යානා දෙකක් සම්බන්ධ වී ඇති අතර ඉන් එක් යානයක් ආරක්ෂිතව ගොඩබස්වා ඇත. අනතුරට පත් යානයේ අවම වශයෙන් කාර්ය මණ්ඩල සාමාජිකයින් පස් දෙනෙකු සිට ඇති බව වාර්තා වන අතර ඔවුන් සොයා මේ වන විට දැවැන්ත බේරාගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක වේ.
මෙම අනතුර සතුරු ප්‍රහාරයක් හෝ මිත්‍ර පාර්ශවීය ප්‍රහාරයක් (Friendly Fire) නිසා සිදු නොවූවක් බවත්, එය මිත්‍රශීලී ගුවන් සීමාවකදී සිදු වූ තාක්ෂණික හෝ මෙහෙයුම් දෝෂයක් බවත් හමුදා බලධාරීන් තහවුරු කර ඇත. කෙසේ වෙතත්, අනතුරට ලක් නොවී ආරක්ෂිතව ගොඩබස්වන ලද අනෙක් KC-135 යානයේ වලිගය ප්‍රදේශයට දැඩි හානි සිදුවී ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ වාර්තා පළවෙමින් පවතී. 2026 පෙබරවාරි 28 දින ආරම්භ වූ මෙම යුදමය වාතාවරණය තුළ ඇමරිකානු හමුදාවට අහිමි වූ සිව්වන ගුවන් යානය මෙය වන අතර මීට පෙර කුවේට් ගුවන් ආරක්ෂක පද්ධති මගින් අත්වැරදීමකින් එල්ල කළ ප්‍රහාර හමුවේ F-15E යානා තුනක් විනාශ විය.


















