ඇමරිකානු හමුදා වෙනිසියුලානු අගනුවරදී සිදු කළ වැටලීමකින් එවකට ජනාධිපති නිකොලස් මදුරෝ අත්අඩංගුවට ගෙන මාස තුනක් ගතවීමටත් පෙර එරට අන්තර්වාර ජනාධිපතිනිය වන ඩෙල්සි රොඩ්‍රිගස් (Delcy Rodriguez) වෙත පනවා තිබූ සම්බාධක ඉවත් කිරීමට ඇමරිකාව පියවර ගෙන තිබේ.
හිටපු උප ජනාධිපතිනියක සහ මදුරෝගේ සමීපතමයෙකු වූ රොඩ්‍රිගස්ගේ නායකත්වයෙන් යුත් අන්තර්වාර රජය සමඟ ජනපති ට්‍රම්ප් පරිපාලනය සමීපව කටයුතු කරමින් සිටී. එහි පියවරක් ලෙස විභව ආයෝජකයින් සමඟ ඇමරිකානු බලශක්ති සහ අභ්‍යන්තර කටයුතු පිළිබඳ ලේකම්වරුන් කරකාස් වෙත යැවීමටත් වෙනිසියුලානු තෙල් අලෙවි කිරීමට ඇමරිකාව සමඟ ගිවිසුමකට එළඹීමටත් කටයුතු කර ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
පසුගිය මාර්තු මාසයේදී වොෂින්ටනය නිල වශයෙන් රොඩ්‍රිගස් වෙනිසියුලාවේ නායිකාව ලෙස පිළිගත් අතර ඒ හරහා ඇමරිකාවේ පිහිටි වෙනිසියුලානු තානාපති කාර්යාල නැවත විවෘත කිරීමටත් විදේශයන්හි ඇති වෙනිසියුලානු සමාගම්වල පාලනය නැවත ලබා ගැනීමටත් ඇගේ රජයට අවස්ථාව හිමි විය. මෙම තීරණය සම්බන්ධයෙන් එක්ස් (X) පණිවුඩයක් නිකුත් කරමින් රොඩ්‍රිගස් කියා සිටියේ මෙය දෙරට අතර සබඳතා යථා තත්ත්වයට පත් කිරීමේ සහ ශක්තිමත් කිරීමේ දිශාවට තැබූ පියවරක් බවයි. දැනට සිය රටට පනවා ඇති සම්බාධක ඉවත් කිරීමට මෙම ප්‍රගතිය ඉවහල් වනු ඇතැයි තමන් විශ්වාස කරන බවද ඇය වැඩිදුරටත් සඳහන් කළාය.
රොඩ්‍රිගස්ගේ රජය ‘සිට්ගෝ පෙට්‍රෝලියම්’ (Citgo Petroleum) ඇතුළු වෙනිසියුලානු රාජ්‍ය තෙල් සමාගමේ (PDVSA) ඇමරිකානු අනුබද්ධිත ආයතනවල පාලන මණ්ඩල භාර ගැනීමට සූදානම් වන බව රොයිටර් පුවත් සේවය වාර්තා කිරීමෙන් අනතුරුව මෙම සම්බාධක ඉවත් කිරීමේ නිවේදනය නිකුත් කර තිබේ. කෙසේ වෙතත් මදුරෝ රජයේ ඉහළ නිලධාරීන් රැසකට තවමත් සම්බාධක පනවා ඇති අතර ඔවුන්ට මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇත. රොඩ්‍රිගස්ට එරෙහිව මෙතෙක් ඇමරිකාව තුළ නීතිමය චෝදනා ගොනු කර නැතත් කරකාස් පාලනය සමඟ කටයුතු කිරීමේදී වාසියක් ලබා ගැනීම සඳහා ට්‍රම්ප් පරිපාලනය රහසිගතව ඇයට එරෙහිව නීතිමය කරුණු රැස් කරමින් සිටින බවද රොයිටර් වාර්තාවල දැක්වේ.














