අමෙරිකා-ඉරාන යුද්ධය සිව්වන සතියටත් ක්‍රියාත්මක වෙමින් පවතින පසුබිමක, ලෝකයේ ප්‍රධානතම තෙල් ප්‍රවාහන මාර්ගය වන හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) බලහත්කාරයෙන් විවෘත කිරීම සඳහා අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් දැවැන්ත යුද සූදානමක නිරත වන බව වාර්තා වේ. “Operation Epic Fury” මෙහෙයුම යටතේ ඉරානය විසින් මෙම මුහුදු මාර්ගය අවහිර කිරීම හේතුවෙන් ගෝලීය තෙල් සහ ගෑස් අපනයනයෙන් 20% කට පමණ බාධා එල්ල වී තිබේ. මේ වන විට ජපානයෙන් සහ කැලිෆෝනියාවෙන් අමෙරිකානු මැරීන් භටයින් (US Marines) රැගත් ප්‍රහාරක ඒකක දෙකක් ගල්ෆ් කලාපය බලා යාත්‍රා කරමින් පවතින අතර පැරෂුට් මගින් ගොඩබිමට පහර දීම සඳහා විශේෂ පුහුණුව ලැබූ අමෙරිකානු 82 වන ගුවන් බලකායේ (82nd Airborne Division) ප්‍රභූ සෙබළුන් ද ඉදිරියේදී මෙම මෙහෙයුමට එක්වීමට නියමිතය.
වත්මන් නාවික අවහිරය හේතුවෙන් නෞකා 3,200 ක් පමණ ගල්ෆ් කලාපයේ සිරවී ඇති අතර ඉරාන ප්‍රහාර නිසා වාණිජ නෞකා 19 කට හානි සිදුවී ඇති බව වාර්තා වේ. හෝමුස් සමුද්‍ර සන්ධිය බලහත්කාරයෙන් විවෘත කිරීම අතිශය දුෂ්කර කාර්යයක් බව යුද විචාරකයෝ පෙන්වා දෙන්නේ ඉරානය විසින් මෙම සමුද්‍ර සන්ධිය තුළ “Maham 3” සහ “Maham 7” වර්ගයේ මුහුදු බෝම්බ (Sea mines) අතුරා ඇති බවට අමෙරිකානු බුද්ධි අංශ සැක පළ කරන බැවිනි. ජනාධිපති ට්‍රම්ප් සාම සැලසුමක් ඉදිරිපත් කර ඇති බව පැවසුවද ඉරානය එය ප්‍රතික්ෂේප කර ඇති හෙයින් යුදමය විසඳුමකට එළඹීමේ වැඩි සම්භාවිතාවක් පවතින අතර මෙම වාතාවරණය හමුවේ ගෝලීය වෙළඳපොළේ තෙල් සහ බලශක්ති මිල ගණන් ද සීඝ්‍රයෙන් ඉහළ යමින් පවතී.















