දකුණු කොරියාවේ ස්ථාපනය කර ඇති ඇමරිකානු මිසයිල නාශක පද්ධතියක (Thaad) කොටස් මැදපෙරදිග කලාපය වෙත රැගෙන යාමට ඇමරිකාව පියවර ගනිමින් සිටින බව වාර්තා වේ. වොෂින්ටන් පෝස්ට් පුවත්පත සහ දකුණු කොරියානු මාධ්‍ය වාර්තා කරන පරිදි, ඇමරිකාව සහ ඉශ්‍රායලය එක්ව ඉරානයට එරෙහිව ආරම්භ කළ යුද්ධය දොළොස්වන දිනටත් ක්‍රියාත්මක වන පසුබිමක මෙම තීරණය ගෙන ඇත.
ජෝර්දානයේ පිහිටි මෙවැනිම මිසයිල නාශක පද්ධතියක රේඩාර් පද්ධතියක් ඉරාන ප්‍රහාරයකින් විනාශ වූ බවට ලැබුණු වාර්තා හමුවේ, මැදපෙරදිග ආරක්ෂාව තර කිරීම සඳහා මෙම පියවර ගෙන ඇති බව විශ්වාස කෙරේ. THAAD පද්ධතිය මුලින්ම දකුණු කොරියාවේ ස්ථාපනය කළේ උතුරු කොරියාවේ න්‍යෂ්ටික තර්ජනවලින් ආරක්ෂා වීම සඳහා වුවද, එහි කොටස් ඉවත් කිරීම දකුණු කොරියානු වැසියන්ගේ මෙන්ම රජයේ ද දැඩි කනස්සල්ලට හේතු වී තිබේ.
මෙම මිසයිල නාශක පද්ධතිය දකුණු කොරියාවේ ස්ථාපනය කිරීමට එරෙහිව චීනය ද මීට පෙර අනතුරු අඟවා තිබූ අතර, ඉන් කලාපීය ස්ථාවරත්වය බිඳ වැටෙන බව ඔවුන්ගේ මතය විය. වත්මන් තත්ත්වය හමුවේ දකුණු කොරියාවේ ආරක්ෂාව දුර්වල විය හැකි බවට එරට තුළ විරෝධතා මතු වෙමින් පවතින අතර, මෙය මැදපෙරදිග යුද්ධයේ බලපෑම ආසියානු කලාපයට ද ව්‍යාප්ත වීමක් ලෙස සැලකේ.














