ඉරාන යුද්ධය ආරම්භ වී ගත වූ සතියක කාලය තුළ ඇමරිකානු ගුවන් හමුදාවට අයත් අධි-තාක්ෂණික MQ-9 රීපර් (Reaper) ඩ්‍රෝන යානා හතරක් විනාශ වී ඇති බව CBS පුවත් සේවය අද (2026 මාර්තු 06) තහවුරු කළේය. මෙයින් යානා තුනක් පසුගිය දින කිහිපය තුළ විවිධ ස්ථානවලදී බිම හෙළා ඇති අතර, ඉන් එක් යානයක් ඉරාන වෙරළට ඔබ්බෙන් වූ මුහුදට කඩා වැටී තිබේ. මෙම යානා බිම හෙළුවේ කවුරුන් විසින්ද යන්න මෙතෙක් නිල වශයෙන් තහවුරු වී නොමැති වුවද, ඉරානය සතු “රේඩාර්වලට හසු නොවන” (Radar-silent) 358 වර්ගයේ නවීන ඉන්ටර්සෙප්ටර් මිසයිල මගින් මෙම යානා ඉලක්ක කරන්නට ඇති බව ආරක්ෂක විශ්ලේෂකයෝ සැක කරති. එක් MQ-9 යානයක වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 30ක් පමණ වන බැවින් මෙය ඇමරිකාවට සැලකිය යුතු මූල්‍යමය හානියකි.
මෙම ඩ්‍රෝන යානා අහිමි වීමේ සිදුවීම් මාලාවට අමතරව, තවත් MQ-9 රීපර් යානයක් කටාර් රාජ්‍යයේ ගුවන් ආරක්ෂණ පද්ධති මගින් එල්ල කළ ප්‍රහාරයකින් (Friendly Fire) විනාශ වී ඇති බව වාර්තා වේ. කටාර් බලධාරීන් පවසන්නේ ඉරානයෙන් පැමිණි ඩ්‍රෝන ප්‍රහාර මාලාවක් මැඩපැවැත්වීමට උත්සාහ කිරීමේදී මෙම අවාසනාවන්ත අත්වැරදීම සිදුව ඇති බවයි. මීට පෙර කුවේට් ගුවන් ආරක්ෂණ පද්ධති මගින් ද ඇමරිකානු F-15E යානා තුනකට අත්වැරදීමකින් ප්‍රහාර එල්ල වූ අතර, මිත්‍ර රටවල් අතර පවතින මෙම සම්බන්ධීකරණ ගැටලු හේතුවෙන් ඇමරිකානු හමුදාවන්ට සිදුවන හානිය අවම කර ගැනීම සඳහා මේ වන විට විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ.














