ඇමරිකානු හමුදාව විසින් හෝමුස් සමුද්‍ර සන්ධිය අවහිරතා ඉවත් කර මුදාගැනීමේ ක්‍රියාවලිය ආරම්භ කර ඇති බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අද (11) සිය සමාජ මාධ්‍ය ගිණුමක සටහනක් තබමින් ප්‍රකාශ කළේය. ඉරානය විසින් මුහුදු බෝම්බ ඇල්ලීම සඳහා යොදාගත් බෝට්ටු 28ම මේ වන විට මුහුදු පතුලේ ගිල්වා ඇති බව ද ඔහු එහි වැඩිදුරටත් සඳහන් කර තිබේ.
ට්‍රම්ප්ගේ මෙම ප්‍රකාශයට මොහොතකට පෙර, ඇමරිකානු නාවික හමුදා නෞකා කිහිපයක් හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කර ඇති බවට වාර්තා පළ වුවද, ඉරාන රජයේ රූපවාහිනිය එම පුවත ප්‍රතික්ෂේප කර ඇත. සති කිහිපයක සිට පවතින මෙම නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් ගෝලීය තෙල් සැපයුමට බාධා පැමිණ ඇති අතර, ඇමරිකාවේ ඉන්ධන මිල ද සීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබේ. මෙම තත්ත්වය හමුවේ ඇමරිකානු සහ ඉරාන නියෝජිතයින් අතර තීරණාත්මක සාම සාකච්ඡා අද පාකිස්ථානයේදී ආරම්භ විය.














